10. මහග්ගත සිත්හි යෙදෙන චෛතසික.

රූපාවචර, අරූපාවචර සිත් මහග්ගත නමි. (චිත්තපාද 4 වන පාඩම බලනු.) ඒ සියල්ල 27 ක් වුවත් මෙහි කොටස් පසකට බෙදනු ලැබේ. පඨමජ්ඣාන සිත්, දුතියජ්ඣාන සිත්, තතියජ්ඣාන සිත්, චතුත්‍ථජ්ඣාන සිත්, පංචමජ්ඣාන සිත් යන වශයෙනි.

1. පඨමජ්ඣාන සිත් කුසල, විපාක, ක්‍රියා වශයෙන් තුනෙකි. එහි අඤ්ඤසමාන 13 ය, විරති තුන හැරැ සෝශන 22 ය යන පන්තිස් (35) චෛතසික සංග්‍රහ වේ. සුවිසුද්ධ සීල, සම්පන්නයකුගේ චිත්ත සමාධිය පිණිස මහග්ගත වඩනු ලැබේ. කාය දුශ්චරිත වාග් දුශ්චරිත මිථ්‍යා ආජීවයන්ගේ විසෝධනය පිණිස හෝ ඔවුන්ගේම සමුච්ඡේද පටිප්පස්සම්භන පිණිස නො වඩනු ලැබේ. එබැවින් මහග්ගත සිත්හි විරති තුන නො යෙදෙන බැව් දත යුතු.

තව ද මෙහි අප්පමඤ්ඤා දෙකින් එකක් මුත් දෙක ම එක වර නො යෙදේ. (8 වන පාඩම බලනු.)

2. දුතියජ්ඣාන සිත් කුසල, විපාක, ක්‍රියා වශයෙන් තුනෙකි. එහි ප්‍රථමධ්‍යාන ත්‍රිකයට කී චෛතසිකවලින් විතර්කය හැරැ සෙසු සූතිස් (34) චෛතසික සංග්‍රහ වේ. දුතියජ්ඣාන විතර්ක රහිත වැ මැ උපදනේ ය.

3. තතියජ්ඣාන සිත් කුසල, විපාක, ක්‍රියා වශයෙන් තුනෙකි. එහි ප්‍රථමධ්‍යානයට කී චෛතසිකවලින් විතර්ක විචාර දෙක හැරැ සෙසු තෙතිස් (33) චෛතසික සංග්‍රහ වේ. තතියජ්ඣාන විතර්ක, විචාර රහිත වැ මැ උපදනේ ය.

4. චතුත්‍ථජ්ඣාන සිත් කුසල, විපාක, ක්‍රියා වශයෙන් තුනෙකි. එහි ප්‍රථමධ්‍යානයට කී චෛතසිකවලින් විතර්ක, විචාර, ප්‍රීති හැරැ සෙසු දෙතිස් (32) චෛතසික සංග්‍රහ වේ. චතුත්‍ථජ්ඣානය විතර්ක, විචාර, ප්‍රීති රහිත වැ මැ උපදනේ ය.

5. පංචමජ්ඣාන සිත් පසළොසෙ (15) කි. පංචමජ්ඣාන කුසල, විපාක, ක්‍රියා තුන හා අඞ්ගසමත්‍වයෙන් එහි මැ ඇතුළත් කරන ලද අරූපාවචර සිත් 12 වශයෙන් ය. පංචමජ්ඣානයෙහි ඇත්තේ උපෙක්ඛා, එකග්ගතා යන අඞ්ග දෙක යි. අරූපාවචර සිත්හි දු එදෙක මැ යි. (චිත්තපාද 23 වන පාඩම බලනු.) ඒ පංචමජ්ඣාන සිත් පසළොසෙහි චතුත්‍ථජ්ඣානයට කී චෛතසික වලින් අප්පමඤ්ඤා දෙක හැරැ සෙසු සමතිස් (30) චෛතසික සංග්‍රහ වේ. මෙහි සුඛ වෙනුවට උපෙක්‍ෂා ගත යුතුයි.

මෙසේ සත්විසි (27) මහග්ගත සිත්හි ධයාන පංචක වශයෙන් පස් ආකාරයෙකින් චෛතසික සංග්‍රහ වූයේ ය.

පඤ්චතිංස චතුත්තිංස තෙත්තිංස ච යථාක්කමං,

බත්තිංසචෙව තිංසෙති පඤ්චධාව මහග්ගතෙ.

ප්‍රශ්න.

  1. ධ්‍යාන පංචකයෙහි යෙදෙන චෛතසික පිළිවෙලින් දක්වනු.
  2. පංචමධ්‍යානයට සිත් කීයක් ඇතුළත් ද? ඒ කවරේ ද?
  3. මහග්ගත සිත්හි කුමක් හෙයින් විරති නො යෙදේ ද?
  4. එහි අප්පමඤ්ඤා යෙදෙන ක්‍රමය දක්වනු.
  5. උඩත්පිරිසෙයින් සියල්ල සංග්‍රහ ගාථාවක් දක්වනු.