8. අප්පමඤ්ඤා-පඤ්ඤා

කරුණා, මුදිතා යන චෛතසික දෙක අප්පමඤ්ඤා නමැ යි යට දක්වන ලද්දේ ය. ඔවුන්ගේ ආකාර මෙසේ යි.

1-කරුණා: කරුණා නම් දුක් විඳින්නකු දුටු විට සිතේ උපදින අනුකම්පා ස්වභාවය. එය අනුන්ගේ දුක් දුරු කරනු කැමැත්ත ලක්‍ෂණ කොට ඇත්තේ ය. එයින් අනුන් දුක් දුරු කළා හෝ නො කළා හෝ කාරණයෙක් නොවේ. කරුණාවට නිමිත්ත දුක් විඳින සත්ත්‍වයෝ ය.

2-මුදිතා: මුදිතා නම් සුව විඳින්නකු දුටු විට සිතේ උපදින මොදන ස්වභාවය යි. එය මෙරමා ගේ සම්පත් අනුමෝදන් වනු ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. මුදිතාවට නිමිත්ත සුඛිත සත්ත්‍වයෝ යි.

අප්‍රමාණ සත්ත්‍වයන් අරමුණු කොටැ පවත්නා බැවින් මේ චෛතසික දෙක අප්පමඤ්ඤා යයි කියනු ලැබේ. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යයි අප්පමඤ්ඤා සතරෙකි. ඔවුන් අතුරෙන් මෙත්තාව “අදෝස” නාමයෙන් ද උපෙක්ඛාව “තත්‍ර මජ්ඣත්තතා” නාමයෙන් ද යට දක්වන ලදි.

මේ අප්පමඤ්ඤා චෛතසික දෙක වනාහි පඨමජ්ඣාන, දුතියජ්ඣාන, තතියජ්ඣාන, චතුත්‍ථජ්ඣාන කුසල විපාක ක්‍රියා සිත් දොළොස ය, කාමාවචර කුසල සිත් අට ය, සහේතුක කාමාවචර ක්‍රියා සිත් අට ය යන අටවිසි (28) සිත්හි යෙදෙන්නේත් එබඳු අනුකම්පාවක් හෝ මොදනයක් ඇති විටෙක ය. එසේත් එකක් මුත් දෙකම එක විට නො යෙදෙන්නේ ය. ඒ එසේ මැයි. කරුණාව ඇති විට මුදිතාව ද, මුදිතාව ඇති විට කරුණාව ද නො යෙදේ. එ බැවින් මොහු දෙදෙන ද අනියතයෝගී නම් වෙත්. කරුණා, මුදිතා දෙක උපෙක්ඛා සසහගත සිත්හි නො යෙදේ යයි සමහරු කියත්.

සෝභන පස්විස්සෙන් එකුන්විස්ස (19) ක් සෝභන සාධාරණය යි ද, තුනක් විරති යයි ද, දෙකක් අප්පමඤ්ඤා ය යි ද, විශේෂ නම් කොටැ දැක්වූහ. සෙසු පඤ්ඤාව මෙහි ම දක්වනු ලැබේ.

පඤ්ඤා: අනිත්‍යාදි ප්‍රකාරයෙන් දැනගන්නේ ප්‍රඥා ය. මෙය බලසම්පන්න කුශලයෙකි. කුශල මූලයෙකි. මෙහිලා සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යන තුනෙහි වෙනස දත යුතු වේ. සඤ්ඤාව නීලාදි වශයෙන් අරමුණ හැඳිනීම් මාත්‍රයක් කරයි. ලක්‍ෂණාවබෝධයක් නො කරයි ළදරුවා කහවණුව මෙනි. විඤ්ඤාණය අරමුණ හැඳිනීම ද ලක්‍ෂණාවබෝධය ද කරයි. මාර්ගයට පැමිණවීම නො කරයි. පිටිසරයා කහවණුව මෙනි. ප්‍රඥාව ඒ සියල්ලම කරයි. රන්කරුවනා කහවණුව මෙනි. විමංසිද්ධිපාද, පඤ්ඤින්‍ද්‍රිය, පඤ්ඤාබල, ධම්මවිචයසම්බොජ්ඣඞ්ග, සම්මාදිට්ඨි යන නම්වලින් දක්වනු ලබන්නේත් මේ ප්‍රඥා මැ යි. එය සර්වඥතාඥානය දක්වා තියුණු වේ.

පඤ්ඤාව වනාහි ඥානසම්ප්‍රයුක්ත කාමාවචර සිත් 12 ය. මහග්ගත - ලෝකෝත්තර සිත් 35 යන සත්සාළිස් (47) සිත්හි යෙදෙන්නේ ය.

මෙසේ දෙපනස් චෛතසික හා ඔවුන්ගේ ස්වභාව උද්දෙස-නිද්දෙස වශයෙන් ද ඔවුන් යෙදෙන සිත් සම්ප්‍රයෝග වශයෙන් ද දක්වා ඉක්බිති මේ මේ සිත්වල මේ මේ චෛතසික යෙදෙන්නේ ය යි මතු පාඩම් වලින් චෛතසිකයන්ගේ සංග්‍රහනය දක්වනු ලැබේ.

ප්‍රශ්න.

  1. අප්පමඤ්ඤා දෙක විස්තර කරනු.
  2. කුමක් හෙයින් ඔවුනට “අප්පමඤ්ඤා” ය යි කියනු ලැබේ ද?
  3. ඔව්හු කවර කවර සිත්හි යෙදෙද් ද? කවර කවර සිත්හි නො යෙදෙද් ද?
  4. පඤ්ඤාව පැහැදිලි කොටැ එහි නාමාන්තර දක්වනු. පඤ්ඤාව කවර කවර සිත්හි යෙදේ ද? කවර කවර සිත්හි නො යෙදේ ද?