7. විරති තුන

1-සම්මාවාචා 2-සම්මාකම්මන්ත 3-සම්මාආජීව යන තුන විරති චෛතසිකය යි යට දක්වන ලදී. ඔවුන්ගේ ආකාර මෙසේ ය.

1-සම්මාවාචා: සම්මාවාචා යනු යහපත් වචනය. එනම් මිථ්‍යා වචනයෙන් වැළකීමය. ඒ වනාහි මුසාවාදයෙන් වැළකීමය, පිසුණ වචනයෙන් වැළකීමය, ඵරුෂ වචනයෙන් වැළකීමය, සම්ඵප්පලාපයෙන් වැළකීමය යි චතුර්විධ වේ.

2-සම්මාකම්මන්ත: සම්මාකම්මන්ත යනු යහපත් ක්‍රියාය. එ නම් මිථ්‍යා ක්‍රියාවන්ගෙන් වැළකීම ය. ඒ වනාහි ප්‍රාණඝාතයෙන් වැළකීමය, අදින්නාදානයෙන් වැළකීමය, කාමමිථ්‍යාචාරයෙන් වැළකීමය යි ත්‍රිවිධ වේ.

3-සම්මාආජීව: සම්මාආජීව යනු යහපත් දිවි පැවැත්ම ය. එනම් මිථ්‍යා ආජීවයෙන් වැළකීමය. ඒ වනාහි ආජීවය උදෙසා මුසාවාදයෙන් වැළකීමය, පිසුණ වචනයෙන් වැළකීමය, ඵරුස වචනයෙන් වැළකීමය, සම්ඵප්පලාපයෙන් වැළකීමය, ප්‍රාණඝාතයෙන් වැළකීමය, අදින්නාදානයෙන් වැළකීමය, කාමමිථ්‍යාචාරයෙන් වැළකීම ය යි සප්තවිධ වේ. කුහල ලපනාදියෙන් වැළකීම් වශයෙන් අනෙක විධ ද වේ.

මේ විරති වනාහි සම්පත්ත වශයෙන් ද සමාදාන වශයෙන් ද සමුච්ඡේද වශයෙන් දැ යි තුන් ආකාරයකින් ලැබේ. සමාදානයක් හෝ සමුච්ඡේදයන් හෝ නැති වැ හුදෙක් ප්‍රාස්තාවික වශයෙන් මුසාවාදාදියෙන් වැළකීමෙහි දී සම්පත්ත විරතිය වේ. පන්සිල් සමාදන්වීම් ආදි වශයෙන් වැළකීමෙහි සමාදාන විරතිය වේ. සෝවාන් ආදි මාර්ගයන්ගේ වශයෙන් සහමුලින් වැළකීමෙහි සමුච්ඡේද විරතිය වේ.

එබැවින් මේ විරති ලෝකෝත්තර සිත්හි නියත වශයෙන් එකවිට තුන ම ලැබෙන බව ද ලෞකික සිත් අතුරෙන් කාමාවචර කුශල සිත් අටෙහි පමණක් වෙන් වෙන් වැ ඒ ඒ අවස්ථාවන්හි ලැබෙන බව ද දතයුතු. ඒ එසේ මැ යි. සෝතාපත්ති මග්ගාදි ලෝකෝත්තර සිත් අටෙහි විරති තුන එක විට ම යෙදේ. යෙදෙන්නේත් සියලු අවස්ථාවන්හි මැ යෙදේ. කාමාවචර කුසල සිත් අටෙහි වාග්දුශ්චරිත සඞ්ඛ්‍යාත මුසාවාදාදියෙන් වැළකෙන අවස්ථාවෙහි සම්මාවාචාව යෙදේ. සම්මාකම්මන්ත, සම්මාආජීව නොයෙදේ. කායදුශ්චරිත සඞ්ඛ්‍යාත ප්‍රාණඝාතාදියෙන් වැළකෙන අවස්ථායෙහි සම්මාකම්මන්තය යෙදේ. සම්මාවාචා සම්මාආජීව නො යෙදේ. මිථ්‍යා ආජීව සඞ්ඛ්‍යාත ජීවිතය සඳහා බොරුකීම් ආදියෙන් වැළකෙන අවස්ථාවන්හි සම්මාආජීවය යෙදේ. සම්මාවාචා සම්මාකම්මන්ත නො යෙදේ. එබැවින් මොව්හු අනියත යෝගී නම් වෙත්.

තව ද “ශීල” යයි දක්වනු ලබන්නේ බොහෝ සෙයින් මේ විරති බව දත යුතු. විරති චෛතසික කුසල් වුවත් මහග්ගත සිත්හි කැලැ ම නො යෙදෙන්නේ ය.

ප්‍රශ්න.

  1. විරති කවරේ ද? එකක් පාසා විස්තර කරනු.
  2. මොව්හු කවර සිත්හි යෙදේ ද? කවර සිත්හි නොයෙදේ ද?
  3. කුමක් හෙයින් මොව්හු අනියතයෝගී ය යි කියනු ලැබෙත් ද?
  4. සම්පත්ත, සමාදාන, සමුච්ඡේද, විරති විස්තර කරනු.
  5. කාමාවචර කුසල් සිතෙක සම්මාආජීවය යෙදෙන සැටි දක්වනු.