6. එකුන් විසි සෝභන සාධාරණ.

star_outline

යට දැක්වුණු පස්විසි සෝභන අතුරෙන් එකුන් විසි සෝභනයන්ගේ ආකාර මෙහි දක්වනු ලැබේ.

1. සද්ධා:- නම් සිතෙහි යෙදෙන, බුද්ධාදීන් අරමුණු කොටැ සම්ප්‍රයුක්ත ධර්මයන් පහදවන ස්වභාවය යි. සම්පසාදන, සම්පක්ඛන්‍දනය යි එහි ලක්‍ෂණ දෙකෙකි. සක්විති රජහුගේ උදක ප්‍රසාදක මාණික්‍ය රත්නය කැලැත් ජලයෙහි ලූ කල මඩ සෙවෙල් පහ වැ ජලය ප්‍රසන්න වන්නා සේ සද්ධාව ඇති කල සිතෙහි කෙලෙස් බැසැ සිත ප්‍රසන්න වන්නේ ය. මේ සද්ධායෙහි සම්පසාදන ලක්‍ෂණය යි. දැතිමුවරුන්ගෙන් ගැවසීගත් ගංදෙබඩ දියට බස්නා බියෙන් මිනිසුන් රැස් වැ සිටිනකල වීරපුරුෂයෙක් තියුණු කඩුවක් ගෙනැ දියට බැසැ මුවරුන් මරමින් මිනිසුන් එතර කරන්නා සේ සද්ධාව පෙරටු වැ සිතෙහි පාප ධර්මයන් නසමින් සිත කුසලයට නංවන්නේ ය. මේ සද්ධායෙහි සම්පක්ඛන්‍දන ලක්‍ෂණය යි. සද්ධාව ඇති කල්හි ම මනුෂ්‍යයෝ දානාදි කුසල ධර්මයෙහි යෙදෙති. නැති කල්හි නොයෙදෙත්. සද්ධින්‍ද්‍රිය සද්ධාබල නාමයෙන් දක්වනු ලබන්නේත් මේ සද්ධා චෛතසිකය මැයි. මේ වනාහි එකුන් සැට 59 සෝභන සිත්හි අවිශේෂ වැ මැ යෙදෙන්නේ ය. සෙස්ස ද මෙසේ මැ යි.

2-සති: සති නම් සිතෙහි යෙදෙන සම්ප්‍රයුක්ත ධර්මයන් සිහි කරවන ස්වභාවය යි. අපිලාපලන, උපග්ගණ්හනය යි එහි දු ලක්‍ෂණ දෙකෙකි. රජහුගේ භාණ්ඩාගාරික ඇමති රජහට සම්පත් මේ මේ ය යි සිහි කරවන්නා සේ සතිය කුසල් මේ ය යි සිහි කරවන්නේ ය. මේ අපිලාපන ලක්‍ෂණය යි. රජහුගේ පරිනායකරත්නය රජහට හිත අහිතයන් මේ මේ ය යි දැනැ අහිතයන් දුරු කොටැ හිතයන් එළවන්නා සේ සතිය කුසල් අකුසල් මේ මේ යයි දැනැ අකුසල් දුරුකොටැ කුසල් එළවන්නේ ය. මේ උපග්ගණ්හන ලක්‍ෂණයයි. සතිපට්ඨාන, සතින්‍ද්‍රිය, සතිබල, සතිසම්බොජ්ඣඞ්ග, සම්මාසති වශයෙන් දක්වන්නේත් මේ මැ යි.

3-හිරි: හිරි නම් සිතෙහි යෙදෙන, කායදුශ්චරිතාදියෙන් ලජ්ජාවන ස්වභාවය යි. කුලකාන්තාවක් මෙනි.

4-ඔත්තප්ප: ඔත්තප්ප නම් සිතෙහි යෙදෙන කාය දුශ්චරිතාදියෙන් බිය වන ස්වභාවය යි. වෙසගනක් මෙනි.

මේ හිරි ඔත්තප්ප අතුරෙන් හිරිය ඇතුළතින් ම උපදින්නේ ය. ඔත්තප්පය පිටතින් උපදින්නේ ය. හිරියට තමා ම අධිපතිය. ඔත්තප්පයට ලෝකයා අධිපතිය. හිරියෙහි ස්වභාවය ලජ්ජාවය. ඔත්තප්පයෙහි ස්වභාවය භය යි. හිරිය කීකරු වීම ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. ඔත්තප්පය බිය වීම ලක්‍ෂණ කොට ඇත්තේය. ලෝකපාලක ධර්ම, දේව ධර්ම යනුත් මොහු මැ යි.

5-අලෝභ: අලෝභ නම් සිතෙහි යෙදෙන අරමුණෙහි නොලැගෙන ස්වභාවය යි. පියුම් පතෙහි දිය මෙනි. මේ බලවත් කුශලයෙකි. කුශල මූලයෙකි. කුශල හේතුවෙකි.

6-අදෝස: අදෝස නම් සිතෙහි යෙදෙන, අරමුණෙහි දූෂ්‍ය නො වන ස්වභාවය යි. අනුකූල මිත්‍රයකු මෙනි. මෙ ද බලවත් කුශලයෙකි. කුශල මූලයෙකි. මෛත්‍රී යනුදු මේ ය. මේ අලෝභ අදෝෂයන් අතුරෙන් අලෝභය මසුරු මලයට ද අදෝසය දුශ්ශීල මලයට ද ප්‍රතිපක්‍ෂය. අලෝභය දානයට හේතු ය. අදෝෂය ශීලයට හේතු ය. ලෝභය දොස් මුවහ කරන හෙයින් අලෝභයෙන් ඇති දෝෂය දෝෂ වශයෙන් ම දක්නේ ය. ද්වේෂය ගුණ මකන හෙයින් අදෝසය ඇති ගුණය ගුණ වශයෙන් ම දක්නේ ය. අලෝභයෙන් ප්‍රිය විප්‍රයෝග දුඃඛය ද අදෝසයෙන් අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය ද අලෝභයෙන් ජාති දුක ද අදෝෂයෙන් ජරා දුක ද නැති වන්නේ ය. තව ද අදෝසයෙන් මෛත්‍රිය ගැනෙන බව දතයුතු.

7-තත්‍රමජ්ඣත්තතා: තත්‍රමජ්ඣත්තතා නම් සිතෙහි යෙදෙන, ආරම්මණයන් පිළිබඳ සම්ප්‍රයුක්ත ධර්මයන් මධ්‍යස්ථ කරවන ස්වභාවය යි. අසුන් සම වැ යන කල්හි මධ්‍යස්ථ වන සාරථියකු මෙනි. උපේක්‍ෂා යනු දු මේ ය. වේදනෝපේක්‍ෂාව ද අනෙකෙකි.

8-කායපස්සද්ධි: මෙහි කාය නම් වේදනාදි ස්කන්‍ධත්‍රය හෙවත් චෛතසික. පස්සද්ධි නම් සන්සිඳුම. චෛතසිකයන්ගේ සන්සිඳුම කායපස්සද්ධි ය යි. එය චෛතසික දරථ ව්‍යපශමය ලක්‍ෂණ කොට ඇත්තේ ය. චෛතසිකයන් කලඹන උද්ධච්චාදි ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ යි.

9-චිත්තපස්සද්ධි: චිත්ත නම් විඥානස්කන්‍ධය හෙවත් සිත. සිතෙහි සන්සිඳුම චිත්තපස්සද්ධිය යි. එය චිත්ත දරථ ව්‍යපශමය ලක්‍ෂණ කොට ඇත්තේ ය. චිත්තය කළඹන උද්ධච්චාදි ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ යි.

10-කායලහුතා: 11-චිත්තලහුතා: කාය චිත්ත පෙර කී සැටි මැයි. චෛතසිකයන්ගේ සැහැල්ලු බව කාය ලහුතාය. චිත්තයාගේ සැහැල්ලු බව චිත්තලහුතා ය. මොහු වනාහි චෛතසිකයන්ගේ හා චිත්තයාගේ ගුරු බව සන්සිඳුවීම ලක්‍ෂණ කොටැ ඇත්තාහ. ඔවුන්ගේ ම බර බැව් කරන ථීනමිද්ධාදී ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ යි.

12-කායමුදුතා: 13-චිත්තමුදුතා: චෛතසිකයන්ගේ මෘදු බව කායමුදුතාය. චිත්තයාගේ මෘදු බව චිත්තමුදුතාය. ඔව්හු වනාහි චෛතසික චිත්තයන්ගේ තද බව සන්සිඳුවීම් ලක්‍ෂණ කොටැ ඇත්තාහ. ඔවුන්ගේ ම තද බැව් කරන දිට්ඨිමානාදි ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ යි.

14-කායකම්මඤ්ඤතා 15-චිත්ත කම්මඤ්ඤතා: චෛතසිකයන්ගේ කර්මන්‍යභාවය - ක්‍රියායෙහි යෝග්‍යත්වය කායකම්මඤ්ඤතාය. චිත්තයාගේ කර්මන්‍යභාවය චිත්ත කම්මඤ්ඤතාය. ඔව්හු වනාහි කායචිත්තයන්ගේ අකර්මන්‍ය භාවය සන්සිඳුවීම් ලක්‍ෂණ කොටැ ඇත්තාහ. ඔවුන්ගේ ම අකර්මන්‍ය භාවය කරන කාමච්ඡන්‍දාදි නීවරණයන්ට ප්‍රතිපක්‍ෂ යි.

16-කායාපගුඤ්ඤතා: 17-චිත්තපාගුඤ්ඤතා: චෛතසිකයන්ගේ ප්‍රගුණත්‍වය කායපාගුඤ්ඤතාය. චිත්තයාගේ ප්‍රගුණත්‍වය චිත්තපාගුඤ්ඤතාය. ඔහු වනාහි කාය චිත්තයන්ගේ ගිලන් බව සන්සිඳුවීම ලක්‍ෂණ කොට ඇත්තාහ. ඔවුන්ගේ ගිලන් බව කරන අස්සද්ධියාදියට ප්‍රතිපක්‍ෂ යි.

18-කායජ්ජුකතාඥ 19-චිත්තුජ්ජුකතා: චෛතසිකයන්ගේ සෘජුභාවය කායජ්ජුකතාය. චිත්තයාගේ සෘජු භාවය චිත්තුජ්ජුකතාය. ඔව්හු ද වනාහි කායචිත්තයන්ගේ සෘජුභාවය ලක්‍ෂණ කොටැ ඇත්තාහ. ඔවුන්ගේ ම කුටිල භාවය කරන මායාසාඨෙයාදි පාපධර්මයන්ට ප්‍රතිපක්‍ෂ යි.

මේ කායපස්සද්ධි ආදි චෛතසික ම යුගල යුගල වැ ප්‍රතිපක්‍ෂ ධර්මයන් නසාලයි. සෙස්සන්ගේ එසේ ප්‍රතිපක්‍ෂ ධර්ම නසාලීමෙක් නැත. එහෙයින් මොවුන්ගේ ම යුගලත්‍වය දක්වන ලදී. තව ද කායපස්සද්ධි ආදි තන්හි කායශබ්දයෙන් රූපකායයාගේ ද සන්සිඳුම් ආදිය වේ ය යි ගන්නේ ය.

සද්ධාදි මේ චෛතසික එකුන්විස්ස (19) සෝභන සිත්හි පමණක් යෙදේ. (සෝභන සිත් පාඩමේ බලනු.)

ප්‍රශ්න.

  1. සද්ධා සති දෙකෙහි ස්වභාව හා භේද දක්වනු.
  2. හිරි ඔත්තප්ප විස්තර කරනු.
  3. අලෝභ අදෝසයන්ට ප්‍රතිපක්‍ෂාදිය දක්වනු.
  4. පස්සද්ධි ආදිය ම කාය චිත්ත වශයෙන් ද්විවිධ කොටැ දැක්වූයේ කිම?
  5. මේ සද්ධාදි එකුන්විසි සෝභන සාධාරණ කවර කවර සිත්හි යෙදේ ද? කවර කවර සිත්හි නො යෙදේ ද?