13. අහේතුක සිත්හි යෙදෙන චෛතසික

අහේතුක සිත් අටළොසෙකි. (චිත්තපාද 8 වන, 9 වන, 10 වන පාඩම් බලනු). එහි යෙදෙන චෛතසික පහසු පිළිවෙලින් මෙහි දක්වනු ලැබේ.

18. සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තයෙහි (චිත්තපාද 10 වන පාඩම බලනු.) ඡන්‍දය හැරැ සෙසු අන්‍යසමාන දොළොස් (12) චෛතසික සංග්‍රහ වේ.

17. වොත්‍ථපන හෙවත් උපෙක්ඛා සහගත මනොද්වාරාවර්ජන චිත්තයෙහි ඡන්‍ද, පීති දෙක හැරැ සෙසු අන්‍ය සමාන චෛතසික එකොළොස (11) සංග්‍රහ වේ.

14. සෝමනස්ස සහගත සන්තීරණ චිත්තයෙහි (චිත්තපාද 9 වන පාඩම බලනු.) ඡන්‍ද, විරිය හැරැ සෙසු එකොළොස් (11) අන්‍යසමාන චෛතසික සංග්‍රහ වේ.

18-6-13-7-15 මනෝධාතු ත්‍රිකයෙහි හා අහේතුක පටිසන්‍ධි යුගලයෙහි ඡන්‍ද, පීති, විරිය හැරැ සෙසු අන්‍ය සමාන චෛතසික දසය සංග්‍රහ වේ. මනොධාතු ත්‍රිකය නම්, පඤ්චද්වාරාවර්ජනය ද අකුසල විපාක උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය ද, කුසල විපාක උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය ද යන සිත් තුනය. මනො විඤ්ඤාණ ධාතු මෙන් විශිෂ්ට වූ මනන කෘත්‍ය නැති බැවින් මේ සිත් තුන මනොධාතු යයි කියනු ලැබේ. සිත් 89 ය සත්ත විඤ්ඤාණ ධාතු වශයෙන් බෙදත් හොත් චක්ඛුවිඤ්ඤාණද්වය චක්ඛුවිඤ්ඤාණ ධාතුය සොතවිඤ්ඤාණද්වය සොතවිඤ්ඤාණ ධාතුය ඝාණවිඤ්ඤාණද්වය ඝාණවිඤ්ඤාණ ධාතුය. ජිව්හාවිඤ්ඤාණද්වය ජිව්හාවිඤ්ඤාණ ධාතුය. කායවිඤ්ඤාණද්වය කාය විඤ්ඤාණ ධාතුය. පඤ්චද්වාරාවර්ජනය හා සම්පටිච්ඡන යුගලය මනො ධාතුය. සෙසු සිත් මනොවිඤ්ඤාණ ධාතු යි.

අහේතුක පටිසන්ධි යුගලය නම් අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය යන සිත් දෙකයි.

1-2-3-4-5-8-9-10-11-12. දෙපස් විඤ්ඤාණයන්හි සර්වචිත්ත සාධාරණ චෛතසික සිත පමණක් මැ සංග්‍රහ වේ. දෙපස් විඤ්ඤාණ නම්, අකුසල විපාක කුසල විපාක වශයෙන් දැක්වූ චක්ඛුවිඤ්ඤාණ දෙක ය. සොතවිඤ්ඤාණ දෙක ය, ඝාණ විඤ්ඤාණ දෙක ය. ජිව්හාවිඤ්ඤාණ දෙක ය, කායවිඤ්ඤාණ දෙක ය යන සිත් දසය යි.

ද්වාදසෙකාදස දස සත්තචාති චතුබ්බිධො

අට්ඨාරසා හෙතුකෙසු චිත්තුප්පාදෙසු සඞ්ගහො.

මෙසේ අටළොස් අහේතුක සිත්හි වෙන් වෙන් ගණන් වශයෙන් සතර පරිද්දෙකින් චෛතසික සංග්‍රහය වන්නේ ය. සියලු සංග්‍රහ විධි එකතු කොට බලත් හොත් ලෝකෝත්තර සිත්හි පස් පරිදිය. මහග්ගත සිත්හි පස් පරිදි ය. කාමාවචර සෝභන සිත්හි දොළොස් පරිදි ය, අකුසල සිත්හි සත් පරිදි ය. අහේතුක සිත්හි සතර පරිදි ය යි තෙතිස් (33) ආකාර වේ.

ප්‍රශ්න.

  1. හසිතුප්පාද චිත්තයෙහි චෛතසික කෙතෙක් යෙදෙද් ද? ඔහු කවරහු ද?
  2. පඤ්චද්වාරාවර්ජන මනොද්වාරාවර්ජන සිත්හි යෙදෙන චෛතසික දක්වනු.
  3. සත්තවිඤ්ඤාණ ධාතු වෙන් කොට දක්වා චක්ඛුවිඤ්ඤාණ ධාතුයෙහි යෙදෙන චෛතසික දක්වනු.
  4. අහේතුක පටිසන්‍ධියුගලය කිමෙක් ද? එහි කවර චෛතසික යෙදෙද් ද?
  5. චෛතසිකයන්ගේ තෙතිස් සංග්‍රහ දක්වනු.

මෙතෙකින් දෙපණස් චෛතසික ද, ඔවුන්ගේ ස්වභාවයද, ඔවුන්ගේ සංප්‍රයොග නය හා සංග්‍රහ නය ද දක්වා නිමියේ ය. සම්ප්‍රයොග නය නම් ඵස්සාදි එක් එක් චෛතසිකය මේ මේ සිත්හි යෙදෙන්නේ ය යි දැක්වු ක්‍රම ය. සංග්‍රහ නය නම් සොතාපත්තිමග්ග චිත්තාදි එක් එක් සිතෙහි මේ මේ චෛතසික යෙදෙන්නේ ය යි දැක්වූ ක්‍රමයයි. මෙහි චෛතසිකයන්ගේ ආකාර දැක්වූ තන්හි දී ම සම්ප්‍රයොග නය දක්වන ලද බැව් දත යුතු යි.

චෛතසික පාදය නිමි.