12. අකුසල සිත්හි යෙදෙන චෛතසික.

1. අකුසල සිත් දොළොසෙකි. එයින් පළමුවන අසංඛාරික (සෝමනස්ස සහගත දිට්ඨිගතසම්පයුත්ත අසංඛාරික සිතෙහි අන්‍යසමාන 13 ය, (මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච යන) අකුසල සාධාරණ 4 ය, ලෝභ, දිට්ඨි 2 යන එකුන්විසි (19) චෛතසික සංග්‍රහ වේ.

3. දෙවන අසංඛාරික (සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාර) සිතෙහි අන්‍යසමාන 13 ය, අකුසල සාධාරණ 4 ය, ලෝභ, මාන දෙකය, යන එකුන්විසි (19) චෛතසික සංග්‍රහ වේ.

5. තෙවන අසංඛාරික (උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික) සිතෙහි ප්‍රීතිය හැරැ සෙසු අන්‍ය සමාන 12 ය, අකුශල සාධාරණ 4 ය, ලෝභ, දිට්ඨි දෙක ය යන අටළොස් (18) චෛතසික සංග්‍රහ වේ.

7. සතරවන අසංඛාරික (උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික) සිතෙහි ප්‍රීතිය හැරැ සෙසු අන්‍ය සමාන 12 ය, අකුසල සාධාරණ 4 ය, ලෝභ, මාන දෙක ය යන අටළොස් (18) චෛතසික සංග්‍රහ වේ.

9. පස්වන අසංඛාරික (දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාර) සිතෙහි ප්‍රීතිය හැරැ සෙසු අන්‍ය සමාන 12 ය, අකුසල සාධාරණ 4 ය, දෝස, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච 4 ය යන සම විසි (20) චෛතසික සංග්‍රහ වේ. ඉස්සා, මච්ඡෙර, කුක්කුච්ච, අනියතයෝගී බව යට කියන ලදී. එබැවින් ඔවුන් යෙදෙත් හොත් එක වර එකක් ම මුත් දෙකක් හෝ තුනම හෝ නො යෙදෙන බව දතයුතු.

2-4-6-8-10 සසඞ්ඛාරික සිත් පසෙහි යට දැක්වූ චෛතසික ම පිළිවෙලින් ථීන මිද්ධය හා සමග යෙදේ. එවිට දෙවන, සතර වන සිත් දෙකෙහි චෛතසික 21 බැගින් ද, සවන, අටවන සිත් දෙකෙහි විස්ස (20) බැගින් ද, දසවන සිතෙහි දෙවිස්ස බැගින් (22) ද ඇත.

11. එකොළොස් වන (උද්ධච්ච සහගත) සිතෙහි ඡන්‍ද, පීති දෙක හැරැ සෙසු අන්‍යසමාන 11 ය, අකුසල සාධාරණ 4 ය යන පසළොස් (15) චෛතසික සංග්‍රහ වේ.

12. දොළොස්වන (විචිකිච්ඡා සහගත) චිත්තයෙහි සර්ව චිත්ත සාධාරණ 7 ය, ඡන්‍ද, පීති, අධිමොක්ඛ හැර ප්‍රකීර්ණක 3 ය, අකුසල සාධාරණ 4 ය, විචිකිච්ඡාය යන පසළොස් (15) චෛතසික සංග්‍රහ වේ. නිශ්චය කිරීම් ලක්‍ෂණ වූ අධිමොක්‍ෂය විචිකිච්ඡා චිත්තයෙහි නූපදනේ ය.

මෙසේ අකුසල සිත් දොළොසෙහි වෙන් වෙන් ගණන් වශයෙන් සත් ආකාරයෙකින් චෛතසික සංග්‍රහ වෙයි. පරීක්‍ෂායෙන් යොදා බලනු.

එකූනවීසට්ඨාරස වීසෙකවීස වීසති

ද්වෙවීස පණ්ණරසෙති සත්තධා කුසලෙ ඨිතා

සාධාරණා ච චත්තාරො සමානා ච දසාපරෙ

චුද්දසෙතෙ පවුච්චන්ති සබ්බාකුසලයොගිනො.

ප්‍රශ්න.

  1. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාර චිත්තයෙහි චෛතසික කෙතෙක් යෙදෙද් ද? ඔහු කවරහු ද?
  2. සෙසු අකුසල් සිත් එකොළොසෙහි යෙදෙන චෛතසික ද වෙන් වෙන් වශයෙන් පැහැදිලිව දක්වනු.
  3. අනියතයෝගී චෛතසික යෙදෙන සිත් දක්වනු.
  4. සර්වාකුසලයෝගී චෛතසික කෙතෙක් ද? කවරහු ද?
  5. අධිමොක්‍ෂය නො යෙදෙන සිත කිමෙක් ද? හේතු කිම?
  6. වෙන් වෙන් ගණන් වශයෙන් බලත් හොත් අකුසල සිත් දොළොසෙහි චෛතසික කී ආකාරයෙකින් යෙදෙද් ද?