11. කාමාවචර සොභන සිත්හි යෙදෙන චෛතසික.

කාමාවචර සොභන නම් කාමාවචර කුසල සිත් 8 ය, කාමාවචර සහේතුක විපාක සිත් 8 ය, කාමාවචර සහේතුක ක්‍රියා සිත් 8 යන සූවිසි (24) චිත්තයෝ ය. (චිත්තපාද 11 වන, 12 වන, 13 වන පාඩම් බලනු.)

1-2 ඔවුන් අතුරෙන් සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර, සසංඛාර යන පළමුවන දෙවන කුසල් සිත් යුවලෙහි අඤ්ඤසමාන 14 ය, සොභන 25 ය, යන අටතිස් (38) චෛතසික සංග්‍රහ වේ. එහිදු විරති, අප්පමඤ්ඤා පසින් එකවරැ එකක්ම මුත් දෙකක් හෝ කීපයක් හෝ නො යෙදේ.

ඒ එසේ මැ යි. විරති යෙදුනොත් අප්පමඤ්ඤා නො යෙදේ. අප්පමඤ්ඤා යෙදුනොත් විරති නො යෙදේ. ඔවුන් අතුරෙනු දු එකක් යෙදුණොත් අතික නො යෙදෙන බව දතයුතු. විරති ව්‍යතික්‍රමණය කළයුතු වස්තු අරමුණු කොටැ ඇත්තේ ය. අප්පමඤ්ඤා සත්ත්‍වයන් අරමුණු කොට ඇත්තේ ය. මේ ඔවුන් එකවට නො යෙදීමේ හෙතු යි.

3-4 සෝමනස්ස සහගත ඤාණවිප්පයුත්ත අසංඛාර සසංඛාර යන තුන්වන සතරවන කුසල් සිත් යුවලෙහි පඤ්ඤා චෛතසිකය හැරැ සෙසු සත්තිස (37) යෙදේ. ඤාණ විප්පයුත්ත හෙයින් මෙහි පඤ්ඤාව නැති.

5-6. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාර සසංඛාර යන පස්වන සවන කුසල් සත් යුවලෙහි පඤ්ඤාව යෙදේ. පීතිය නො යෙදේ. එබැවින් එහි චෛතසික සත්තිසෙ (37) කි. ඤාණ සම්පයුත්ත හෙයින් ප්‍රඥා යෙදිණි. උපෙක්ඛා සහගත හෙයින් ප්‍රීති නො යෙදිණි.

7-8. උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත අසංඛාර-සසංඛාර යන සත්වන අටවන කුසල් සිත් යුවලෙහි පඤ්ඤා පීති දෙක ම හැරැ සෙසු සතිස් (36) චෛතසික යෙදේ. ඤාණ විප්පයුත්ත හෙයින් පඤ්ඤා නැති. උපෙක්ඛා සහගත බැවින් ප්‍රීති ද නැති. මේ සියලු සිත්හි විරති, අප්පමඤ්ඤාවන්ගෙන් එකක් එකක් ම යෙදෙන බව පෙර කී සේ මැ යි.

මේ කාමාවචර කුසල සිත් අටෙහි චෛතසික යෙදෙන ක්‍රමය යි.

සහේතුක කාමාවචර ක්‍රියා සිත් අටෙහි (චිත්තපාද 13 පාඩම බලනු) යට දැක්වුණු චෛතසික ම විරති රහිත වැ පිළිවෙලින් යෙදේ. මේ ක්‍රියා සිත් උපදනේ රහතන්ට ම ය. විරති නියතයෙන් කුසල් ය. රහතන්ට කුසල් සිත් නූපදනා ක්‍රියා සිත්හි විරති නො යෙදෙන්නේ ය.

මේ සහේතුක කාමාවචර ක්‍රියා සිත් අටෙහි චෛතසික යෙදෙන ක්‍රමය යි.

සහේතුක කාමාවචර විපාක සිත් අටෙහි කාමාවචර කුසල චිත්තයන්ට දැක්වූ චෛතසික මැ විරති, අප්පමඤ්ඤා රහිත වැ යෙදේ. විපාක සිත්වල විරති හා අප්පමඤ්ඤා නොයෙදෙන බව දතයුතු.

මේ සහේතුක කාමාවචර විපාක සිත් අටෙහි චෛතසික යෙදෙන ක්‍රමය යි.

සිත් අසංඛාර, සසංඛාර වීමෙහි ලා චෛතසිකයන්ගේ ඌනාතිරික්තභාවයෙක් හේතු නො වන්නේ ය.

අට්ඨතිංස සත්තතිංසද්වයං ඡත්තිංසකං සුභෙ

පඤ්චතිංස චතුත්තිංසද්වයං තෙත්තිංසකා ක්‍රියෙ.

.

තෙත්තිංස පාකෙ ඛත්තිංස ද්වයෙකත්තිංසකං භමෙ,

සහෙතුකාමාවචර පුඤ්ඤ පාකක්‍රියාමනෙ.

ප්‍රශ්න.

  1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර කුසල චිත්තයෙහි යෙදෙන චෛතසික කවරේ ද? එක වරෙක යෙදෙන්නේ කෙතෙක් ද?
  2. සෙසු කුසල සිත් සතෙහි ද චෛතසික යෙදෙන ක්‍රමය දක්වනු.
  3. සහේතුක කාමාවචර විපාක ක්‍රියා සිත්වල චෛතසික යෙදෙන සැටි ක්‍රමයෙන් දක්වනු.
  4. විපාක සිත්හි අප්පමඤ්ඤා විරති නො යෙදෙන්නේ කිම?
  5. ක්‍රියා සිත්හි විරති නො යෙදෙන්නේ කිම?
  6. චිත්තයන්ගේ අසංඛාර සසංඛාර භාවයට චෛතසිකයන්ගේ යෙදීම හෝ නො යෙදීම හේතු වේ ද? පැහැදිලි කරනු.