22. සංග්‍රහ ගීතිකා

1. අටෙක සිත් ලොබ මුල්

දෙදෙනෙක සිත්හු දොස මුල්

දෙකෙක සිත් මොහ මුල්

මෙසේ දොළොසෙක සියලු අකුසල්

ලෝභ මූලික සිත් අටෙක, දෝස මූලික සිත් දෙකෙක, මෝහ මූලික සිත් දෙකෙකැ යි අකුසල සිත් මුළුල්ල 12 ක් වන්නේ ය.

2. අකුසල් විවා සත්

කුසල් අහේ විවා අට,

අහේ කිරිය සිත් තුනෙක්

ඉති අටළොස් අහේ සිත්.

අකුසල විපාක සිත් සතෙක, කුසල අහේතුක විපාක සිත් අටෙක, අහේතුක ක්‍රියා සිත් තුනෙකැ යි අහේතුක සිත් 18 ක් වන්නේ ය.

3. අකුසල් අහේ සිත්

හැරැ සෙසු සිත් එකුන් සැට

සොබන සිත් නම් වන්නේ

ඔහු එක් අනූ විද හෝ.

අකුසල අහේතුක සිත් 30 හැර සෙසු සිත් 59 සෝභන සිත් නම් වේ. ඔව්හු 91 ආකාර හෝ වෙත්.

4. වෙයින් නැණ සකර

බෙයින් සූවිසි වැදෑරුම්

සහේ කම්වැදැරි

කුසල් - විවා - කිරිය සිත්.

කාමාවචර කුසල් ය, සහේතුක කාමාවචර විපාක ය, සහේතුක කාමාවචර ක්‍රියා ය යන මේ චිත්තයෝ වේදනා ඤාණ සංඛාර භේදයෙන් සූවිසි වැදෑරුම් වෙත්.

5. කුසල් අට අකුසල්

දොළොස් තෙවිසි විවා සිත්

එකොළොස් කිරිය සිත් යී

සූ පණස් කම් වැදෑරි

කුසල් සිත් අටෙක, අකුසල් සිත් දෙළොසෙක, විපාක සිත් තෙවිස්සෙ (23) ක, ක්‍රියා සිත් එකොළොසෙකැ යි කාමාවචර සිත් මුළුල්ල 54 ක් ය.

6. රුවැදැරි මනස

දැහැන් බෙයින් පස්විදි,

කුසල් - විවා - කිරීයනෙන්

යළි පසළොස් වැදෑරුම්.

රූපාවචර චිත්තය ධ්‍යානාඞ්ග භේදයෙන් පංචවිධ වේ. නැවත කුසල විපාක ක්‍රියා භේදයෙන් පසළොස් වැදෑරුම් වේ.

7. අරූ වැදැරි සිත

අරමුණු බෙයින් සිව්විදි,

කුසල් - විවා - කිරිය නෙන්

යළි එ දොළොස් වැදෑරුම්.

අරූපාවචර චිත්තය ආරම්මණ භේදයෙන් චතුර්විධ වේ. යළි එය කුසල විපාක ක්‍රියා භේදයෙන් දොළොස් වැදෑරුම් වේ.

8. සිව් මහ බෙයින් සිව්

වැදෑරුම් ලොව්තුරු සිත,

පල සිත් විසින් ගත් කල,

ඒ වේ අට වැදෑරුම්

ලෝකෝත්තර චිත්තය සෝවාන් ආදී සතර මාර්ග භේදයෙන් සතර වැදෑරුම් වෙයි. එය ඵල සිත් වශයෙන් ගත් කල්හි අට වැදෑරුම් වේ.

9. අකුසල් සිත් දොළොස්

කුසල් සිත් එක්විස්සෙක්,

සතිස් විවා කිරිය සිත්

විස්සෙකැ යි මුළු දන්නේ.

අකුසල් සිත් 12 ක, කුසල් සිත් 21 ක, විපාක සිත් 36 ක, ක්‍රියා සිත් 20 කැයි සියලු සිත් ප්‍රභේද වශයෙන් දතයුතු.

10. සූපණසි කම්වැදැරී

රූවැදැරි සිත් පසළොසි,

අරූවැදැරි දොළොසෙකි

ලොව්තුරු සිත් අටෙක් වේ.

කාමාවචර සිත් 54 ක, රූපාවචර සිත් 15 ක, අරූපාවචර සිත් 12 ක. ලෝකෝත්තර සිත් 8 කැ යි භූමිහෙද වශයෙන් සිත් 89 දතයුතු.

11. මෙලෙස සිව් බිම්හි

මුළු සිත් අසූ නවයෙකි,

වැළි දු ඒ එක්සිය

එක්විසි වැදෑරුම් වේ.

උක්ත ප්‍රකාරයෙන් කාමාවචරාදි චාතුර්භූමික සිත් සියල්ල 89 ක් වන්නේ ය. වැළි එය 121 ආකාරයට ද බෙදනු ලැබේ.

ප්‍රශ්න

  1. කුසල සිත් කෙතෙක් ද? ඒ කවරහු ද?
  2. විපාක සිත් කෙතෙක් ද? ඒ කවරහු ද?
  3. ක්‍රියා සිත් කෙතෙක් ද? ඒ කවරහු ද?
  4. කාමාවචර සිත් කෙතෙක් ද? කොටස් වශයෙන් බෙදනු.
  5. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් කවරහු ද?
  6. සිත් 89 බෙදා දක්වනු.