යට දක්වන ලද ලෝකෝත්තර සිත් අට ධ්‍යාන පංචකය වශයෙන් ගිණූ කල ලෝකෝත්තර සිත් සම සතළිසෙක් වන්නේය.
ඒ මෙසේයි:-
- විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත පඨමජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය,
- විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත දුතියජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය,
- පීති, සුඛ, එකග්ගතා සහිත තතියජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය,
- සුඛ, එකග්ගතා සහිත චතුත්‍ථජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය,
- උපෙක්ඛා, එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය,
යි සෝතාපත්ති මග්ග චිත්ත පසෙක් වේ. මෙසේ ම පඨමජ්ඣාන සකදාගාමි මග්ග චිත්තාදි වශයෙන් සකෘදාගාමි මාර්ග චිත්ත ද පසෙක් වේ. පඨමජ්ඣාන අනාගාමි මග්ග චිත්තාදි වශයෙන් අනාගාමි මාර්ග චිත්ත ද පසෙක් වේ. පඨමජ්ඣාන අරහත්ත මග්ග චිත්තාදි වශයෙන් අර්හත් මාර්ග චිත්ත ද පසෙක් වේ. මෙසේ මාර්ග සිත් විස්සෙකි. ඵල සිත් ද මෙසේ ම විස්සෙකැ යි ලෝකෝත්තර සිත් මුළුල්ල සතළිසෙක් වන්නේ ය.
- පාදකජ්ඣානය. 2. සම්මසිතජ්ඣානය, 3. පුග්ගලජ්ඣාසයජ්ඣානය යි ලෝකෝත්තර සිත් ධ්‍යාන වශයෙන් ගණිනු ලැබීමේ ක්‍රම තුනෙකි.
1. ධ්‍යානලාභී පුද්ගලයෙක් පළමුකොට ප්‍රථම ධ්‍යානයට සමවැද එයින් නැගී සංස්කාර ධර්මයන් අනිත්‍යාදී වශයෙන් සම්මර්ශනය කොට සෝවාන් මාර්ගය ලැබූයේ නම් ඔහුගේ ඒ සෝවාන්මාර්ග චිාත්තය පඨමජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය යි කියනු ලැබේ. ඵල චිත්තය පඨමජ්ඣාන සෝතාපත්ති ඵල චිත්තය යි කියනු ලැබේ. දුතියජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තාදියෙහි හා පඨමජ්ඣාන සකදාගාමි මග්ග චිත්තාදියෙහි භේදය ද මේ නයින් සැලකිය යුතු. මේ පාදකජ්ඣාන වශයෙනි.
2. යමෙක් මෙසේ ප්‍රථම ධ්‍යානය පාදක කොට නො ගෙන හුදෙක් ප්‍රථම ධ්‍යානයෙහි පවත්නා විතර්කාදි අඞ්ගයන් අනිත්‍යාදි වශයෙන් සම්මර්ශනය කොට සෝවාන් මාර්ග චිත්තය ලැබුයේ නම් ඔහුගේ ඒ සෝවාන් මාර්ග චිත්ත ද පඨමජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය යි කියනු ලැබේ. ඵල චිත්තය පඨමජ්ඣාන සෝතාපත්ති ඵල චිත්තය යි කියනු ලැබේ. සෙස්සෙහි දු ක්‍රමය මෙසේ ය. මේ සම්මසිතජ්ඣාන වශයෙනි.
3. ධ්‍යානලාභී වූ යමෙක් ප්‍රථම ධ්‍යානය පාදක කොට ගෙන හෙවත් ප්‍රථම ධ්‍යානයට සමවැද එයින් නැගී දුතියජ්ඣානාදී වූ අනික් ධ්‍යානයෙක අඞ්ගයන් අනිත්‍යාදී වශයෙන් සම්මර්ශනය කෙළේ නම් ඔහුට ස්වකීය අදහස් පරිදි මාර්ග චිත්තය ලැබෙන්නේ ය.
ඒ මෙසේ ය. ඉදින් හෙතෙම “පාදක කැරැ ගත් ප්‍රථම ධ්‍යානය පරිදි මාර්ග චිත්තය ලබමි” යි සිතුයේ නම් එසේ ලබන්නේ ය, නැතහොත් “සම්මර්ශනය කරන ලද අඞ්ග ඇති ධ්‍යානය පරිදි මාර්ග චිත්තය ලබමි”යි සිතුයේ නම් එසේ ලබන්නේ ය, සෙස්සෙහිදු මේ ක්‍රමය යි. මේ පුග්ගලජ්ඣාසය වශයෙනි.
මේ නයින් බලන කල්හි අරූපාවචර සිත් ද පංචම ධ්‍යානයෙහි ඇතුළත් වේ. අඞ්ග සම හෙයිනි. පංචමධ්‍යානයෙහි ඇත්තේ උපෙක්ඛා එකග්ගතා යන අංග දෙක ය. අරූපාවචර සිත්හි ඇත්තේත් ඒ අංග දෙක මැ යි.
මෙසේ ලෞකික වශයෙන් තුනෙක, ලෝකෝත්තර වශයෙන් අටෙකැ යි ප්‍රථම ධ්‍යාන සිත් 11 ක් වේ. දුතියජ්ඣාන සිත් ද එසේම 11 කි. තතියජ්ඣාන සිත් ද 11 කි. චතුත්‍ථජ්ඣාන සිත් ද 11 කි. පංචමජ්ඣාන සිත් වනාහි (අරූපාවචර සිත් දොළොස ද මෙහි ම ගැනෙන හෙයින්) ලෞකික වහයෙන් 15 ක් ද, ලෝකෝත්තර වශයෙන් 8 ක් දැයි 23 ක් වේ.
මේ නයින් කුසල් සිත් මුළුල්ල 37 කි. (කාමාවචර 8, රූපාවචර 5, අරූපාවචර 4, ලෝකෝත්තර 20) විපාක සිත් 52 කි. (කාමාවචර අහේතුක 15, සහේතුක 8, රූපාවචර 5, අරූපාවචර 4, ලෝකෝත්තර 20) ක්‍රියා සිත් පෙර කී සේ 20 මැයි.
මෙසේ:-
අකුසල සිත් |
12 |
කුසල සිත් |
37 |
විපාක සිත් |
52 |
ක්‍රියා සිත් |
20 |
මුළුල්ල |
121 |
සිත් වන්නේ යි.
ප්‍රශ්න
- ලෝකෝත්තර සිත් 40 කෙසේ ද?
- අරූපාවචර වශයෙන් ලෝකෝත්තර සිත් නො බෙදන ලද්දේ මන්ද?
- මේ නයින් කුසල සිත් කෙතෙක්ද? ඒ කවරහු ද?
- විපාක සිත් කෙතෙක් ද? ඒ කවරහු ද? සිත් 121 බෙදා දක්වනු.
- ලෝකෝත්තර සිත් 8 කුමක් හෙයින් ධ්‍යාන වශයෙන් ගණන ලද්දේ ද? විස්තර කරනු.
චිත්ත පාදය නිමි.