21. ලෝකෝත්තර විපාක සිත් (4) සතර

  1. සෝතාපත්ති ඵල චිත්තය,
  2. සකදාගාමි ඵල චිත්තය,
  3. අනාගාමි ඵල චිත්තය,
  4. අරහත්ත ඵල චිත්තය,

යන මේ සතර ලෝකෝත්තර විපාක නම් වේ.

1. සෝතාපත්ති ආදි නාමයන්ගේ අර්ථ යට කී නියා මැ යි. ඵල නම් විපාක ය. සෝතාපත්ති මාර්ග චිත්තය ලැබූ පුද්ගලයාට එයට අනතුරුවැ ම උපදින චිත්තය සෝතාපත්ති ඵල චිත්තය යි. මාර්ග චිත්ත කුසල් ය. ඵල චිත්ත එහි විපාක ය යි දතයුතු. කාමාවචරාදි කුශලයන් ගේ විපාක ඒ ජන්මයෙහි හෝ ජන්මාන්තරයෙක හෝ ප්‍රමාද වැ ලැබෙන්නේ ය. මේ ලෝකෝත්තර කුශලයන්ගේ විපාක වනාහි එවිට ම ලැබෙන්නේ ය. “අකාලිකො” යි එහෙයින් වදාළේ ය.

2. සකෘදාගාමි මාර්ග චිත්තයට අනතුරු වැ ලැබෙන චිත්තය අනාගාමි ඵල චිත්තය යි. මෙහි දූ මාර්ග චිත්තය කුසල්ය. ඵල චිත්තය විපාක.

3. අනාගාමි මාර්ග චිත්තයට අනතුරු වැ ලැබෙන චිත්තය අනාගාමි ඵල චිත්තය. මෙහිදු මාර්ග චිත්තය කුසල් ය. ඵල චිත්තය විපාක ය.

4. අර්හත් මාර්ගයට අනතුරු වැ ලැබෙන චිත්තය අර්හත් ඵල චිත්තය. මෙහිදු මාර්ග සිත් කුසල් ය. ඵල සිත් විපාකය යි දතයුතු. මේ ලෝකෝත්තර කුසල් සිත් එක් වරෙක විනා දෙවරෙක කිසිවිටෙක නූපදනා බැවින් ලෝකෝත්තර ක්‍රියා නම් සිත් වර්ගයෙක් කැලැම නැත්තේ ය.

“චතූමිග්ගප්පභෙදෙන චතුධා කුසලං තථා,

පාකංතස්සඵලත්තානි අට්ඨධානුත්තරං මතං”

ලෝකෝත්තර සිත් සතර මාර්ග භේදයෙන් චතුර්විධ ය. විපාක වනාහි ඔහුගේ ම ඵල බැවින් හෙද චතුර්විධ ය. මෙසේ ලෝකෝත්තර සිත් ද අෂ්ටවිධ යි.

ප්‍රශ්න

  1. ලෝකෝත්තර විපාක සිත් කවරේ ද?
  2. මේ විපාක සිත් කවරෙකුට කවදා උපන්නේ ද?
  3. “අකාලිකො” යන්නෙහි තේරුම කිම?
  4. ලෝකෝත්තර ක්‍රියා සිත් නැත්තේ මන්ද?

සිත් (89) නිමි.