18. අරූපාවචර විපාක සිත් සතර.

  1. ආකාසානඤ්චායතන විපාක චිත්තය,
  2. විඤ්ඤාණඤ්චායතන විපාක චිත්තය,
  3. ආකිඤ්චඤ්ඤායතන විපාක චිත්තය,
  4. නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාක චිත්තය,

යන මේ සතර අරූපාවචර විපාක සිත් නම් වේ.

1. මේ චිත්තයාගේ ආකාරය සාමාන්‍යයෙන් ආකාසානඤ්චායතන කුසල චිත්තයට කී නියාම ය. එය කුසලය වීම හා මෙය විපාකය වීම පමණක් වෙනසි. සෙස්සෙහි දු මෙසේ මැ යි.

ආකාසානඤ්චායතන සමාපත්තිය ලැබ එයින් නොපිරිහී කාලක්‍රියා කෙළේ කල්ප විසිදහසකට ආයු ඇති ආකාසානඤ්චායතන නම් අරූප බ්‍රහ්ම ලෝකයෙහි උපදනේ ය. එසේ උපදීම් වශයෙන් එහි ප්‍රථම වැ පහළ වන ප්‍රතිසන්‍ධි චිත්තය ද එහි වසන තාක් ඇතිවන භවාඞ්ග චිත්තයද අවසානයෙහි එයින් චුතවීම් වශයෙන් ඇති වන චුති චිත්තය ද මේ ආකාසානඤ්චායතන විපාක චිත්තය වන්නේය.

2. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලබා එයින් නො පිරිහී කාලක්‍රියා කෙළේ කල්ප සතළිස් දහසකට ආයු ඇති විඤ්ඤාණඤ්චායතන නම් අරූප බ්‍රහ්ම ලෝකයෙහි උපදනේ ය. එසේ උපදීම් වශයෙන් එහි ප්‍රථමවැ පහළ වන ප්‍රතිසන්ධි. චිත්තය ද එහි වසන තාක් ඇති වන භවාඞ්ග චිත්තය ද එයින් චුතවීම් වශයෙන් ඇතිවන චුති චිත්තය ද මේ විඤ්ඤාණඤ්චායතන විපාක චිත්තය වන්නේය.

3. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලබා එයින් නො පිරිහී කාලක්‍රියා කෙළේ කල්ප සැට දහසකට ආයු ඇති ආකිඤ්චඤ්ඤායතන නම් අරූප බ්‍රහ්ම ලෝකයෙහි උපදනේ ය. එසේ උපදීම් වශයෙන් පහළ වන ප්‍රතිසන්ධි චිත්තය ද, එහි වසන තාක් ඇතිවන භවාඞ්ග සිත් ද අවසානයෙහි ඇති වන චුති චිත්තයද ආකිඤ්චඤ්ඤායතන විපාක චිත්තය වන්නේ ය.

4. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලබා එයින් නොපිරිහී කාලක්‍රියා කෙළේ කල්ප සුවාසු දහසකට ආයු ඇති නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් අරූප බ්‍රහ්ම ලෝකයෙහි උපදනේ ය. එසේ උපදීම් වශයෙන් එහි ප්‍රථම කොට පහළ වන ප්‍රතිසන්ධි චිත්තය ද එහි වසන තාක් ඇති වන භවාඞ්ග සිත් ද අවසානයෙහි ඇති වන චුති චිත්තය ද මේ නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් විපාක චිත්තය වන්නේ ය.

ප්‍රශ්න

  1. අරූපාවචර විපාක සිත් සතර කවරේ ද?
  2. මේ විපාක සිත් කවුරුන්ට කෙසේ ලැබේ ද?
  3. අරූප බ්‍රහ්මලෝකයන්හි ආයුපරිච්ඡේදය දක්වනු.