17. අරූපාවචර කුසල සිත් සතර.

star_outline
  1. ආකාසානඤ්චායතන කුසල චිත්තය,
  2. විඤ්ඤාණඤ්චායතන කුසල චිත්තය,
  3. ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්තය,
  4. නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය,

යන මේ සතර අරූපාවචර කුසල සිත් නම් වේ.

1. ආකාසානන්ත කියයුතු තන්හි සුඛොච්චාරණය සඳහා ආකාසානඤ්ච යි කියන ලද්දේ ය. අනන්ත ආකාසය යනු එහි අර්ථ ය. අනන්තාකාසය නම් උප්පාදාන්ත වයන්ත නැති කසිණුග්ඝාටිමාකාසය යි = හෙවත් කිසුණු ඉගුළු අහස යි. කිසුණු ඉගුළු අහස අරමුණු කොට ගෙන භාවනා කරන යෝගාවචරයාට අනුක්‍රමයෙන් උපදින ධ්‍යාන චිත්තය ආකාසානඤ්චායතන කුශල චිත්තය යි කියනු ලැබේ.

එය ලැබගන්නා ක්‍රමය මෙසේ ය.

යට දැක්වූ පරිදි රූපාවචර ධ්‍යාන ලැබුයේ රූපය කලහ විග්‍රහ විවාදාදියට හා නානාවිධ රොගශතයන්ට හේතුවන්නේ ය යි රූපයෙහි ආදීනව සලකා රූපය දුරු කැරැ ගන්නා කැමැත්තෙන් පළමුකොට ආකාස කසිණය හැරැ පඨවි කසිණාදී වූ නව කසිණයන් අතුරෙන් එක්තරා කසිණයක් අරමුණු කොට ගෙනැ පඤ්චමධ්‍යානය උපදවන්නේ ය. ඉක්බිති ඒ පඤ්චමධ්‍යානයෙන් නැගී පඤ්චමධ්‍යානයට අරමුණු වූ කසිණාරම්මණය තමා කැමැති තාක් ප්‍රදේශයක පතුරුවන්නේ ය. ඒ පැතිරී ගිය කසිණාරම්මණය මෙනෙහි නො කරන කල්හි එහි ආකාශ මාත්‍රය පැනෙයි. කසිණුග්ඝාටිමාකාසය හෙවත් කිසුණු ඉගුළු අහස නම් ඒ කසිණාරම්මණයෙන් ස්පෘෂ්ට වූ ශුද්ධ අවකාශය යි. ඒ කිසුණු ඉගුළු අහස අරමුණු කොටගෙන “ආකාසො, ආකාසො” යි හෝ “අනත්තො, ආකාසො, අනත්තො ආකාසො” යි හෝ කියමින් භාවනා කරන්නහුට නීවරණ සන්සිඳීමෙන් යථාවිධින් ආකාසානඤ්චායතන කුසලචිත්තය ලැබෙන්නේ ය.

2. මෙහි දු විඤ්ඤාණානන්ත කියයුතු තන්හි විඤ්ඤාණඤ්චය යි කියන ලද්දේ ය, අනන්ත වූ විඤ්ඤාණය යනු එහි අර්ථය, අනන්ත විඤ්ඤාණ නම් තමා විසින් ම කලින් උපදවාගත් ආකාසානඤ්චායතන චිත්තය යි. එය අරමුණු කොට ගෙන භාවනා කරන්නහුට යථාවිධීන් ලැබෙන ධ්‍යාන චිත්තය විඤ්ඤාණඤ්චායතන කුසල චිත්තය යි කියනු ලැබේ.

එය ලැබැ ගන්නා ක්‍රමය මෙසේ ය.

ආකාසානඤ්චායතනය වසඟ කරගත් යෝගාවචරයා සර්පයාට බිය වූ පුරුෂයා සර්ප සමාන රැහැන් කැබැල්ලට ද බිය වන්නා සේ රූප සම්බන්ධයෙන් උපදවාගත් ආකාසානඤ්චායතන ධ්‍යානයට ද කලකිරී එය දුරු කැරැ ගන්නා පිණිස භාවනා කරන්නේ ඒ ආකාසානඤ්චායතන චිත්තය ම අරමුණු කොට ගෙනැ “විඤ්ඤාණං, විඤ්ඤාණං” කියා හෝ “අනන්තං විඤ්ඤාණං, අනන්තං විඤ්ඤාණං” කියා හෝ භාවනා කරන්නේ ය. එසේ භාවනා කරන්නහුට යථාක්‍රමයෙන් විඤ්ඤාණඤ්චායතන කුසල චිත්තය ලැබෙන්නේ ය.

3. කිසිවක් නැත්තේ ය යන අර්ථයෙහි අකිංචන ය යි කියනු ලැබේ. අකිඤ්චන භාවය හෙවත් කිසිවක් නැති බව ආකිඤ්චඤ්ඤ නමි. ආකාසානඤ්චායතනය උපදවා ගත් යෝගාවචරයා විඤ්ඤාණඤ්චායතනය උපදවා ගත් කල්හි ඔහුගේ ආකාසානඤ්චායතන චිත්තය අභාවයට යන්නේ ය. ඒ අභාව මාත්‍රය ම මෙහි ආකිඤ්චඤ්ඤ ශබ්දයෙන් කියනු ලැබේ. ඒ අරමුණු කොට උපදවන ධ්‍යාන චිත්තය ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්තය යි කියනු ලැබේ.

එය ලැබැ ගන්නා ක්‍රමය මෙසේ ය.

විඤ්ඤාණඤ්චායතනය උපදවාගත් යෝගාවචරයා පස් ආකාරයෙකින් එය වසඟකොට ගෙන ඉක්බිති එහි ආදීනව හා ආකිඤ්චඤ්ඤායතනයෙහි ආනිසංස සලකා විඤ්ඤාණඤ්චායතනය ඉක් මැ ආකිඤ්චඤ්ඤායතනය ලැබැ ගනු සඳහා පළමු තමාට පැවැති ආකාසානඤ්චායතන චිත්තයාගේ ම අභාව මාත්‍රය අරමුණු කොට ගෙනැ ‘නත්‍ථි කිඤ්චි, නත්‍ථි කිඤ්චි’ යි කියමින් භාවනා කරන්නේ ය. එසේ ම භාවනා කරන්නහුට යථා විධීන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන කුශල චිත්තය පහළ වන්නේ ය.

4. යම් සමාපත්ති චිත්තයෙක්හි ඔලාරික වශයෙන් සංඥාව නැත්තේ ද සූක්‍ෂම වශයෙන් සංඥා මාත්‍රයෙක් ඇත්තේ ද ඒ සමාපත්ති චිත්තය නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය යි කියනු ලැබේ. තෙල් නැතැයි ද ඇතැයි ද නොකිය හැකි තෙල් ගෑවුණු භාජනය මෙනි.

ආකිඤ්චඤ්ඤායතනය පස් ආකාරයකින් වසඟ කැරැ ගත් යෝගාවචරයා එහි ආදීනව හා මෙහි ආනිසංස සලකා තමා විසින් ම උපදවා ගත් ඒ ආකිඤ්චඤ්ඤායතන චිත්තය ම අරමුණු කොට ගෙන “සන්තමෙතං, පණීමෙතං’ යි භාවනා කරන්නේ අනුක්‍රමයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය ලබන්නේ ය.

ප්‍රශ්න

  1. අරූපාවචර කුසල සිත් සතර කවරේ ද?
  2. එක එක සිතට ලැබෙන අරමුණු දක්වනු.
  3. විඤ්ඤාණඤ්චායතන යන්නෙහි තේරුම කිම?
  4. අරූපාවචර කුසල සිත් ලැබිය හැක්කේ කවර කසිණයන් වැඩූ අයට ද?
  5. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ලැබිය හැකි අන්දම විස්තර කරනු.