19. අරූපාවචර ක්‍රියා සිත් (4) සතර.

  1. ආකාසානඤ්චායතන ක්‍රියා චිත්තය,
  2. විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තය,
  3. ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා චිත්තය,
  4. නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තය,

යන මේ සිත් සතර අරූපාවචර ක්‍රියා සිත් නම් වේ.

මේ චතුර්විධ චිත්තයන්ගේ ආකාරය සාමාන්‍යයෙන් අරූපාවචර කුසල චිත්තයන්ට කී නියා ය. හුදෙක් ඒ කුශල චිත්තය පුහුදුනට හා ශෛක්‍ෂයන්ට උපදී. මේ ක්‍රියා චිත්තයෝ අශෛක්‍ෂ සංඛ්‍යාත රහතන් වහන්සේට පමණක් උපදිත්.

ඒ එසේමැයි. රහතන් වහන්සේ ආකාසානඤ්චායතන සමාපත්තිය ඉපදවූ කල්හි එය ආකාසානඤ්චායතන ක්‍රියා චිත්තය යි කියනු ලැබේ. සෙස්සෙහි ද මෙසේ ය.

“ආලම්බනප්පභෙදෙන චතුධාරුප්පමානසං

පුඤ්ඤපාක ක්‍රියා භෙදා පුන ද්වාදසධා ධීතං”

අරූපාවචර සිත ආලම්බන භේදයෙන් චතුර්විධ ය. කුශල විපාක ක්‍රියා භේදයෙන් යළි දොළොස් වැදෑරුමි.

ප්‍රශ්න

  1. අරූපාවචර ක්‍රියා සිත් කවරේ ද?
  2. මේ ක්‍රියා සිත් කවුරුන්ට උපදී ද?
  3. අරූපාවචර සිත් දොළොස ලැබෙන සැටි ගාථාවකින් දක්වනු.