16. රූපාවචර ක්‍රියා සිත් පස.

  1. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත පඨමජ්ඣාන ක්‍රියා චිත්තය,
  2. විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත දුතියජ්ඣාන ක්‍රියා චිත්තය,
  3. පීති, සුඛ, එකග්ගතා සහිත තතියජ්ඣාන ක්‍රියා චිත්තය,
  4. සුඛ, එකග්ගතා සහිත චතුත්‍ථජ්ඣාන ක්‍රියා චිත්තය,
  5. උපෙක්ඛා, එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන ක්‍රියා චිත්තය,

යන මේ පස රූපාවචර ක්‍රියා සිත් නම් වේ. පුථුජ්ජනයෙක් හෝ ශෛක්‍ෂයෙක් හෝ කසිණාදි භාවනාවක් වඩා විතර්කාදි අඞ්ග පංචකයෙන් යුත් ප්‍රථමධ්‍යානය ලැබුයේ නම් එය ප්‍රථමධ්‍යාන කුශල චිත්තය යි කියනු ලැබේ. අශෛක්‍ෂ සංඛ්‍යාත රහතන් වහන්සේ එබඳු වූ ම ප්‍රථමධ්‍යානය ලැබුයේ නම් එය ප්‍රථමධ්‍යාන ක්‍රියා චිත්තය යි කියනු ලැබේ. සෙස්සෙහි ද මෙසේය. රහතන් වහන්සේ කෙනෙකුන් විසින් මේ ධ්‍යාන සිත් ලැබීම ක්‍රියා සිත් වීමේ හේතුය. ක්‍රියා සිත් යන්නෙහි අදහස යට කියන ලද්දේ ය.

“පඤ්චධා ඣාන භෙදෙන රූපාවචර මානසං,

පුඤ්ඤපාක ක්‍රියා භෙදා තං පඤ්චදසධාභවෙ”

රූපාවචර සිත ඣාන භේදයෙන් පඤ්චවිධ ය. යළි කුශල විපාක ක්‍රියා භේදයෙන් පසළොස් වැදෑරුමි.

ප්‍රශ්න

  1. රූපාවචර ක්‍රියා සිත් පස කෙසේ ද?
  2. මේ සිත් කවුරුන්හට උපදිත් ද?
  3. ක්‍රියා සිත් යනුවෙහි අදහස කිමෙක් ද?