15. රූපාවචර විපාක සිත් පස

star_outline
  1. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත පඨමජ්ඣාන විපාක චිත්තය,
  2. විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත දුතියජ්ඣාන විපාක චිත්තය,
  3. පීති, සුඛ, එකග්ගතා සහිත තතියජ්ඣාන විපාක චිත්තය,
  4. සුඛ, එකග්ගතා සහිත චතුත්‍ථජ්ඣාන විපාක චිත්තය,
  5. උපෙක්ඛා, එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන විපාක චිත්තය,

යන මේ පස රූපාවචර විපාක සිත් නම් වේ. මේ විපාක සිත් වනාහි සාමාන්‍යයෙන් යට දක්වන ලද රූපාවචර කුසල සිත් බඳු ය. කැටපතෙහි දක්නා ලැබෙන ඡායාරූපය බලන්නහුගේ ම රූපය සමාන වන්නාක් මෙනි.

යට කී රූපාවචර කුසල සිත් උපදවා ගත්තවුන්ට මේ විපාක චිත්තයෝ ප්‍රතිසන්‍ධි වශයෙන් ද, භවාඞ්ග වශයෙන් ද, චුති වශයෙන් දැයි තුන් ආකාරයෙකින් උපදිත්.

ඒ එසේ මැයි. යමෙක් මේ ජන්මයෙහි කසිණාදී භාවනාවක් කොට ප්‍රථමධ්‍යාන කුශල චිත්තය ලබාගත්තේ නම් එය ද පරිත්ත වශයෙන් වැඩූයේ නම් හෙතෙම ඒ ධ්‍යානයෙන් නො පිරිහී කාලක්‍රියා කෙළේ නම් බ්‍රහ්මපාරිසජ්ජ නම් බඹලොව උපදනේ ය. එසේ ඉපදීම් වශයෙන් එහි පළමු කොටම පහළ වන චිත්තය ප්‍රතිසන්‍ධි චිත්තය යි ද එසේ උපන් තෙක් පටන් ඒ භවයෙහි වසනා තාක් චක්‍ෂුරාදීන් අරමුණු නො ගෙනැ සිටින කල්හි උපදින සිත් භවාඞ්ග සිත් ය යි ද ඒ භවයෙන් ගිලිහීම් වශයෙන් අවසන්හි උපදින චිත්තය චුතිචිත්තය යි ද කියනු ලැබේ. ඒ ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති චිත්තයෝ මේ ජන්මයේ උපදවා ගන්නා ලද පඨමජ්ඣාන කුසලයට විපාක වහයෙන් උපදනා හෙයින් විපාක සිත් ය යි කියනු ලැබෙත්. ඔවුහු ම මෙහි විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත පඨමජ්ඣාන විපාක චිත්තය යනාදී වශයෙන් දැක්වෙති.

මේ පඨමජ්ඣාන කුසල චිත්තය ම මධ්‍යම වශයෙන් වැඩුයේ නම් බ්‍රහ්මපුරෝහිත නම් බඹලොව ද එය ම ප්‍රණීත වශයෙන් වැඩුයේ නම් මහාබ්‍රහ්ම නම් බඹලොව ද උපදනේය. මේ තුන පඨමජ්ඣාන භූමි ය.

ද්විතීය ධ්‍යානය හා තෘතීය ධ්‍යානය පරිත්ත වශයෙන් වැඩුයේ නම් පරිත්තාභ නම් බඹ ලොව ද මධ්‍යම වශයෙන් වැඩුයේ නම් අප්පමාණාභ නම් බඹ ලොව ද ප්‍රණීත වශයෙන් වැඩුයේ නම්, ආභස්සර නම් බඹ ලොව ද උපදනේ ය. මේ දුතියජ්ඣාන භූමි ය.

චතුර්ථ ධ්‍යානය පරිත්ත වශයෙන් වැඩුයේ නම් පරිත්ත සුභ නම් බඹ ලොව ද මධ්‍යම වශයෙන් වැඩුයේ නම් අප්පමාණ සුභ නම් බඹ ලොව ද ප්‍රණීත වශයෙන් වැඩුයේ නම් සුභකිණ්හ නම් බඹලොව ද උපදනේ ය. මේ තතියජ්ඣාන භූමි ය.

පඤ්චමධ්‍යානය වැඩුයේ නම් වෙහප්ඵලයෙහි ද එය ම සිත නැති කරන සේ වැඩුයේ නම් අසඤ්ඤසත්තයෙහි ද අනාගාමී වැ ශුද්ධාවාසයන්හි ද උපදනේ ය. මේ චතුත්‍ථජ්ඣාන භූමි ය. (ධ්‍යානය ලැබගත් මාත්‍රය-වසග නො කිරීම් පරිත්තය, මධ්‍යම වශයෙන් වසඟකර ගැන්ම මධ්‍යම ය. අතිශයින් වසගකර ගැන්ම ප්‍රණීත යි.) මේ සියලු තන්හි ම ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති වශයෙන් ඒ ඒ විපාකයන්ගේ පහළවීම ප්‍රථමධ්‍යාන විපාක චිත්තයට කී පරිදි දතයුතු ය.

විශේෂ වශයෙන් බලත හොත්:

1. පඨමජ්ඣාන විපාකය චිත්තය ප්‍රථම ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති වශයෙන් ලැබෙන්නේ ය.

2-3. දුතියජ්ඣාන විපාක චිත්තය හා තතියජ්ඣාන විපාක චිත්තය දුතියජ්ඣාන විපාක භූමියෙහි ප්‍රතිසන්‍ධී භවාඞ්ග චුති වශයෙන් ලැබෙන්නේ ය.

4. චතුත්‍ථජ්ඣාන විපාක චිත්තය තතියජ්ඣාන භූමියෙහි ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති වශයෙන් ලැබෙන්නේ ය.

5. පඤ්චමජ්ඣාන විපාක චිත්තය චතුත්‍ථජ්ඣාන භූමියෙහි ප්‍රතිසන්‍ධි භවාඞ්ග චුති වශයෙන් ලැබෙන්නේ ය.

ප්‍රශ්න

  1. රූපාවචර විපාක සිත් පස කවරේ ද?
  2. මොවුහු විපාක වශයෙන් කවර කවර ලෝකයන්හි උපදිත් ද?
  3. ප්‍රථමධ්‍යාන විපාක චිත්තය ලැබෙන පරිදි විස්තර කරනු.
  4. පරිත්ත, මධ්‍යම, ප්‍රණීත යනු කිම?
  5. චතුත්‍ථජ්ඣාන භූමිය කිමෙක් ද?