- විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා, සහිත පඨමජ්ඣාන කුසල චිත්තය,
- විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත දුතියජ්ඣාන කුසල චිත්තය,
- පීති, සුඛ, එකග්ගතා සහිත තතියජ්ඣාන කුසල චිත්තය,
- සුඛ, එකග්ගතා සහිත චතුත්‍ථජ්ඣාන කුසල චිත්තය,
- උපෙක්ඛා, එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන කුසල චිත්තය
යන මේ සිත් පස රූපාවචර කුසල සිත් නම් වේ.
1. චෛතසිකයින්ගෙන් වෙන් වැ සිතක් නො පවත්නා බව යට කියන ලදි. රූපාවචර චිත්තයන්හි යෙදෙන ඵස්ස වෙදනා ආදී පන්තිස් (35) චෛතසිකයන් අතුරෙහි පසක් පමණක් මෙහි විශේෂකොට දක්වන ලද්දේ ය. ඔවුන් ම ධ්‍යාන නම් වන බැවිනි. නිම්වළලු දැවී ආදි සමුදායට රථ චක්‍ර යන නාමය ව්‍යවහාර කරන්නා සේ විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන චෛතසික සමුදායට ධ්‍යාන යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. “ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්සෙකග්ගතා” යි - විභංගයෙහි වදාළේ ය. ආරම්මණ උපනිජ්ඣානය කරන්නේ (-අරමුණ බලන්නේ) හෝ විරුද්ධ ක්ලේශයන් ඣාපනය කරන්නේ (-දවාලන්නේ) ධ්‍යාන ය යි කියනු ලැබේ. ආරම්මණ උපනිජ්ඣානය (-අරමුණ බැලීම) ධ්‍යානයාගේ එක කෘත්‍යයෙක. ඒ එසේමැ යි. විතර්කය තෙම අරමුණට සිත නගන්නේ ය. විචාරය සිත අරමුණෙහි හසුරුවන්නේ ය. ප්‍රීතිය අරමුණෙන් සිත පිනවන්නේ ය. සුඛය සිතට ආරම්මණ රසය අනුභව කරවන්නේ ය. එකග්ගතාව නොයෙක් අරමුණුවල සිත විසිර යා නො දී එක අරමුණෙක යොදා තබන්නේ ය.
විරුද්ධ කෙලෙස් දවාලීම ද ධ්‍යානයාගේ එක් කෘත්‍යයෙක ඒ එසේ මැයි. විතර්කය තෙම ථීනමිද්ධ නීවරණය දවාලන්නේ ය. විචාරය විචිකිච්ඡා නීවරණය දවා ලන්නේ ය. ප්‍රීතිය ව්‍යාපාද නීවරණය දවාලන්නේ ය. සුඛය උද්ධච්ච කුක්කුච්ච නීවරණය දවාලන්නේ ය. එකග්ගතාව කාමච්ඡන්‍ද නීවරණය දවාලන්නේ ය. මෙසේ මේ පංචාඞ්ගයෙන් යුක්ත වූ ධ්‍යාන කුශල චිත්තය පඨමජ්ඣාන කුසල චිත්තය යි කියනු ලැබේ.
ඒ පඨමජ්ඣාන කුසල චිත්තය ලැබෙන ආකාරය ඉතා සැකෙවින් මෙසේ දතයුතු.
දේවලෝකයෙහි හෝ මනුෂ්‍ය ලෝකයෙහි පවත්නා කාමසුඛය ලාමක කොට සලකා මේ ලෙව්හි සමාධි සුඛය හා පරලෙව්හි බ්‍රහ්ම සුඛය විඳගන්නා කැමැති ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෙන් යුත් යෝගාවචරයා පඨවි කසිණ ආදී කර්මස්ථානයන් අතුරෙහි ස්වකීය චරිතයට අනුකූල වූ කර්මස්ථානයක් ලබාගෙන පරිශුද්ධ ශීලයෙහි පිහිටා විවේක ස්ථානයක හිඳ භාවනාවට බැසගන්නේ ය. ඉදින් හෙතෙම පඨවි කසිණය අරමුණු කරන්නේ නම් අරුණුවන් මැටියෙන් නියමිත පරිදි සකස් කරගන්නා ලද කසිණ මණ්ඩලය ඉදිරියෙහි තබාගෙනැ ඒ දෙස ම බලා ගනිමින් “පඨවි පඨවි” යි සිය දහස් වරකුදු භාවනා කරන්නේ ය. එවිට ඔහුගේ කසිණාරම්මණයට පරිකර්ම නිමිත්ත ය යි ද, භාවනාවට පරිකර්ම භාවනාව ය යි ද කියනු ලැබේ. මෙසේ කලක් භාවනා කරන්නහුට ඒ කසිණාරම්මණය ඇසට නො වැ සිතට ම අරමුණු වන්නේය. ඇස පියාලා බැලුවත් අන්‍ය දිශාවෙක බැලුවත් ඒ ආරම්මණයට සමාන වූ ම ආරම්මණයක් පෙනෙන්නට පටන් ගන්නේ ය. එවිට ඒ ආරම්මණයට උග්ගහ නිමිත්ත යයි ද භාවනාවට පරිකර්ම භාවනාව ය යි ද කියනු ලැබේ. මෙසේ ඒ උග්ගහ නිමිත්ත අරමුණු කොට ගෙන පරිකර්ම භාවනායෙන් භාවනා කරන කල්හි සඳ පළා නැගි ආලෝකයක් සේ උග්ගහ නිමිත්ත පළාගෙන මෙන් අතිපරිශුද්ධ ආලෝකයෙක් පහළ වන්නේ ය. එවිට ඒ ආරම්මණයට පටිභාග නිමිත්ත ය යි ද භාවනාවට උපචාර භාවනාව ය යි ද කියනු ලැබේ. මෙසේ උපචාර භාවනායෙන් පටිභාග නිමිත්ත වඩන කල්හි කාමච්ඡන්‍දාදී පංචවිධ නීවරණයන් මැඩලන්නාවූ ද ආරම්මණය විශේෂ කොට බලන්නා වූ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, එකාග්‍රතා යන ධ්‍යානාඞ්ගයන් උද්දීප්ත කොට ඇති පඨමජ්ඣාන කුසල චිත්තය පහළ වන්නේ ය.
2. ප්‍රථමධ්‍යානය ලබාගත් යෝගාවචරයා එහි ඇතුළත් වූ විතර්කය ඕලාරිකය යි සලකා එය දුරු කැරගන්නා පිණිස පෙර සේ යළිදු භාවනා කරන්නේ විතර්ක රහිත වූ විචාර, පීති, සුඛ, එකග්ගතා යන සතරින් යුත් ද්විතීය ධ්‍යාන කුශල චිත්තය ලබන්නේ ය.
ද්විතීය ධ්‍යානය ලබාගත්තේ එහි ඇතුළත් වූ විචාරය ඔලාරිකය යි සලකා එය දුරු කැරැ ගන්නා පිණිස පෙර සේ යළිදු භාවනාකරන්නේ විචාර රහිත වූ පීති, සුඛ, එකග්ගතා යන අඞ්ගත්‍රිකයෙන් යුක්ත වූ තෘතීය ධ්‍යානය ලබන්නේ ය.
4. තෘතීය ධ්‍යානය ලබාගත්තේ එහි ඇතුළත් වූ ප්‍රීතිය ඔලාරිකය යි සලකා එය දුරු කැරැ ගන්නා පිණිස පෙර සේ යළිදු භාවනා කරන්නේ ප්‍රීති රහිත වූ සුඛ එකග්ගතා යන අඞ්ගද්වයයෙන් යුක්ත වූ චතුර්ථ ධ්‍යානය ලබන්නේ ය.
5. චතුර්ථ ධ්‍යානය ලබාගත්තේ එහි ඇතුළත් වූ සුඛය ඔලාරික වශයෙන් සලකා එය දුරු කැරැගන්නා පිණිස පෙර සේ යළි දු භාවනා කරන්නේ සුඛ රහිත වූ උපෙක්ඛා එකග්ගතා යන අඞ්ගද්වයයෙන් යුක්ත වූ පඤ්චම ධ්‍යානය ලබන්නේ ය, උපේක්‍ෂාව ශාන්ත පැවතුම් ඇති බැවින් සුඛයෙහි ම ඇතුළත් බව දතයුතු.
ප්‍රශ්න
- රූපාවචර කුසල සිත් පස කෙසේ ද?
- ධ්‍යාන යනු කවරේ ද?
- කවර අර්ථයන් කරණ කොට ගෙනැ විතර්කාදීන්ට ඣාන යන නාමය ලැබේ ද?
- ප්‍රථම ධ්‍යාන කුශල චිත්තය ලැබෙන ආකාරය සැකෙවින් දක්වනු.
- චතුර්ථ ධ්‍යාන කුශල චිත්තයෙහි හා පඤ්චම ධ්‍යාන කුශල චිත්තයෙහි වෙනස දක්වනු.