ආකාසානඤ්චායතනය.
දස කසිණ අතුරෙන් ආකාස කසිණය හැරැ සෙසු නවයෙන් කිසි කසිණයක් මෙනෙහි නො කිරීම වශයෙන් උගුළා ලත් ආකාසය “අනන්තො ආකාසො අනන්තො ආකාසො”යි පරිකර්ම කරන්නා හට ආකාසානඤ්චායතන සංඛ්‍යාත ප්‍රථම රූප්‍ය විඥානය අර්පණා වන්නේ ය. ආකාස කසිණය උගුළා ලිය නො හැකි ය.
ශාරිපුත්‍ර සාමි එය මෙසේ විස්තර කරයි
“මෙහි අරූපාවචර ධ්‍යාන උපදවනු කැමැති යෝගාවචර තෙමේ රූපය නිසා දණ්ඩාදාන ශස්ත්‍රාදාන කලහ විග්‍රහ විවාද යන මොවුන්ගේ ද චක්‍ෂුශ්ශ්‍රොත්‍රරෝගාදි ආබාධ සහස්‍රයන්ගේ ද වශයෙන් කරජකායයෙහි ආදීනව දැක මෙකී ආදීනවා අරූප්‍යයෙහි සර්වප්‍රකාරයෙන් නැතැ යි රූපයාගේ සමතික්‍රමණය පිණිස පරිච්ඡිනානාකාස කසිණය හැරැ පඨවි කසිණාදි වූ නව කසිණයන් අතුරෙන් එක්තරා කසිණයෙක්හි චතුර්ථධ්‍යාන උපදවා ඒ ධ්‍යාන යට අරමුණ වූ කසිණ රූපයෙහි උද්වෙග ඇති ව ඒ එයින් දුරු වනු කැමැත්තේ පඤ්චප්‍රකාරයෙකින් පුරුදු කරන ලද වසිතා ඇති වැ ප්‍රගුණ වූ රූපාවචර චතුර්ථධ්‍යානයෙන් නැගී මා විසින් කළකිරෙන ලද මේ රූපය අරමුණු කරන්නේය යි කියා ද ආසන්න සෞමනස්‍ය සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂයා ඇත්තේය යි කියා ද ශාන්ත විමොක්‍ෂ හෙයින් ඖදාරිකය යි කියා ද ධ්‍යානයෙහි ආදීනව දක්නේ ය. දැක එහි නිකාන්තිය දුරු කොටැ ඒ කසිණ චක්‍රවාට පර්යන්ත කොටැ හෝ තමා කැමැති යම් කට්ටලයකට හෝ පතුරුවා එයින් ස්පෘෂ්ට වූ ආකාශය අරභයා “ආකාසො ආකාසො” යි ද “අනත්තො ආකාසො අනන්තො ආකාසො” යි නැවත නැවත මනස්කාර කරන්නා හට නීවරණයෝ ප්‍රහීණ වෙති. උපචාරය හා සමග චිත්තය මනා කොටැ පිහිටන්නේ ය. එම නිමිත්ත නැවත නැවත ආසේවනය කරන්නා හට පඨවිකසිණාදියෙහි රූපාවචර චිත්තය මෙන් ආකාශය විෂය කොටැ ආකාසානඤ්චායතන චිත්තය පිහිටන්නේ යි. මෙබඳු පූර්ව භාගයෙහි කාමාවචර චිත්තයෝ පරිකර්මාදි නාමයෙන් තුන්දෙනෙක් හෝ සතර දෙනෙක් හෝ උපෙක්‍ෂා වේදනා සම්ප්‍රයුක්ත වූවාහු ම වෙති. සතර වැනි වැ හෝ පස්වැනි වැ අරූපාවචර චිත්තය උපදනේ යි. සෙස්ස පඨවිකසිණයෙහි කී පරිද්දෙන් දත යුත්තේ ය. මේ වනාහි වෙනස යි. මෙසේ අරූපාවචර චිත්තය උපන් කල්හි ඒ යෝගාවචර තෙම පූර්වයෙහි කසිණ මණ්ඩලය ධ්‍යාන චක්‍ෂුසින් බලමින් වැසැ “ආකාසො ආකාසො” යන පරිකර්ම මනසිකාරයන් ඒ නිමිත්තය වහා දුරු කරන ලද කල්හි ආකාශය ම බලමින් වසන්නේ යි.
විඤ්ඤාණඤ්චායතනය
ආකාසානඤ්චායතනය ලත් යෝගී ද්විතීයාරූප්‍යය ලබනු කැමැත්තේ ඒ තමාගේ ආකාසානඤ්චායතන චිත්තය ම අරමුණු කොටැ ගෙනැ “අනන්තං විඤ්ඤාණං අනන්තං විඤ්ඤාණං” යි භාවනා කරන්නේ ය. එසේ භාවනා කරත් ම යථාක්‍රමයෙන් ද්විතීයාරූප්‍ය සංඛ්‍යාත විඤ්ඤාණඤ්චායතනය අර්පණා වන්නේය.
ශාරිපුත්‍ර ස්වාමි ඒ මෙසේ දක්වයි.
“මෙහි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය උපදවනු කැමැති යෝගාවචර තෙම පස් ආකාරයෙකින් ආකාසානඤ්චායතන සමාපත්තියෙහි පුරුදු කරන ලද වශිතා ඇත්තේ මේ සමාපත්ති තොමෝ ආසන්න රූපාවචර ධ්‍යාන සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂයෙන් ඇත්තීය යි ද, විඤ්ඤාණඤ්චායතනය මෙන් නො මැ ශාන්තය යි කියා ද ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැකැ එහි නිකාන්ති දුරු කොටැ විඤ්ඤාණඤ්චායතනය ශාන්ත හෙයින් මනස්කාර කෙරෙයි. ඒ ආකාශස්ථරණය කොටැ සිටියා වූ විඤ්ඤාණය “විඤ්ඤාණං විඤ්ඤාණං” කියා නැවත නැවත මනස්කාර කරන්නා හට එම නිමිත්තයෙහි නැවත නැවත චිත්තය හසුරුවන්නා හට නීවරණයෝ විෂ්කම්භිත වෙති. ස්මෘතිය එහි ම පිහිටන්නේ ය. උපචාරය හා සමග චිත්තය සමාහිත වන්නේ ය. එ ම නිමිත්තය නැවත ආසෙවන වශයෙන් බහුල කරන්නා හට ආකාශය විෂය කොටැ ආකාසානඤ්චායතනය මෙන් ආකාශයෙහි පතළා වූ විඤ්ඤාණය විෂය කොටැ විඤ්ඤාණඤ්චායතන චිත්තය පිහිටන්නේයි. අර්පණා ක්‍රම පෙර කී පරිද්දෙන් දත යුත්තේ ය.
ආකිඤ්චඤ්ඤායතනය.
විඤ්ඤාණඤ්චායතනය ලබත් ම ඔහුගේ ආකාසානඤ්චායතනය අභාවයට යන්නේ ය. හෙතෙම තෘතීයාරූප්‍යය ලබනු කැමැත්තේ ඒ අභාව මාත්‍රය අරමුණු කොටැ “නත්‍ථි කිඤ්චි නත්‍ථි කිඤ්චි” යි භාවනා කරන්නේ ය. එසේ භාවනා කරත් ම ඔහුට යථා ක්‍රමයෙන් තෘතීයාරූප්‍යසංඛ්‍යාත ආකිඤ්චඤ්ඤායතනය අර්පණා වන්නේ ය.
ශාරිපුත්‍ර ස්වාමි එය මෙසේ දක්වයි.
“මෙහි තෘතීයාරූප්‍යය උපදවනු කැමැත්තා වූ යෝගාවචර තෙමේ යට කී පරිද්දෙන් පඤ්චවශිත ප්‍රාප්ත වූයේ මේ සමාපත්ති තොමෝ ආසන්න ආකාසානඤ්චායතන සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂයන් ඇත්තීය යි ද ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය මෙන් ශාන්ත නො වන්නීය යි කියා ද විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැකැ එහි නිකාන්ති දුරු කොටැ ආකිඤ්චඤ්ඤායතන ශාන්ත හෙයින් මනස්කාර කොටැ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන විඤ්ඤාණයාගේ අභාවය “නත්‍ථි නත්‍ථි” කියා හෝ “සුඤ්ඤ සුඤ්ඤං” කියා හෝ “ධී චිත්තං ධී චිත්තං” කියා හෝ නැවත නැවත මනසකාර කරන්නා හට ඒ නිමිත්තයෙහි ම චිත්තය හසුරු වන්නා හට නීවරණයෝ විෂ්කම්භිත වෙති. ස්මෘතිය එහි ම පිහිටන්නී ය. උපචාරය හා සමග චිත්තය සමාහිත වන්නේ ය. මෙම නිමිත්තය නැවත නැවත ආසේවනය කරන්නා හට බහුල කරන්නා හට ආකාශයෙහි පතළා වූ මහග්ගත විඤ්ඤාණයෙහි විඤ්ඤාණඤ්චායතනය මෙන් ආකාශය ඵරණය කොටැ ප්‍රවෘත්ත වූ මහග්ගත විඤ්ඤාණයාගේ සුඤ්ඤ, ධීචිත්ත, නාස්තිත්‍ව විෂය කොටැ ආකිඤ්චඤ්ඤායතන චිත්තය පිහිටන්නේ යි. මෙහිදු අර්පණාක්‍රම යට කී පරිද්දෙන් දත යුත්තේ ය. එහි අර්පණා චිත්තය උපන් කල්හි ඒ යෝගාවචර තෙමේ ද්විතීයාරූප්‍ය විඥානයාගේ අපගම සංඛ්‍යාත වූ අභාවය ම දකිමින් වසන්නේ යි.”
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය.
තතීයාරූප්‍යය අරමුණු කොටැ ගෙනැ “සන්තමෙතං පණීත මෙතං” යි භාවනා කරත් ම චතුර්ථාරුප්‍ය සංඛ්‍යාත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අර්පණා වන්නේ යි.
විස්තර මෙසේ ය:
“මෙහි චතුර්ථාරුප්‍ය විඥානය උපදවනු කැමැති යෝගාවචර තෙමේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි පුරුදු කරන ලද පඤ්චවශිතා ඇත්තේ මේ සමාපත්ති තොමෝ ආසන්න විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂයන් ඇත්තීය යි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙන් ශාන්ත නොවන්නීය යි කියා ද ආකිඤ්චඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආනිසංස දැකැ ආකිඤ්චඤ්ඤායතනය නිකාන්තිය දුරු කොටැ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ශාන්ත හෙයින් මනස්කාර කොටැ ද්විතීයරුප්‍ය විඥානයාගේ නාස්තිත්‍වය විෂය කොටැ ප්‍රවෘත්ති වූ ආකිඤ්චඤ්ඤායතන චිත්තය “සන්තමෙතං පණීතමෙතං” කියා නැවත ආවර්ජනා කරන්නා හට එම නිමිත්තයෙහි චිත්තය නැවත නැවත හසුරු වන්නා හට නීවරණයෝ විෂ්කම්භිත වෙත්. එහි ම ස්මෘතිය පිහිටන්නී ය. උපචාරය හා සමග චිත්තය සමාහිත වන්නේ යි. මෙසේ ඒ නිමිත්තය ආසේවනය බහුලීකරණ කරත් කරත් විඤ්ඤාණාපගමය විපය කොටැ උපන් ආකිඤ්චඤ්ඤායතන සංඛ්‍යාත චතුඃස්කන්‍ධ විෂය කොටැ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය පිිහිටන්නේ යි. මෙහි දු අර්පණා ක්‍රම යට කී පරිද්දෙන් දත යුතුයි.
ධ්‍යාන උපදවීමෙන් රූපි අරූපි බ්‍රහ්මලෝක සැප ද, අභිඥාද දිට්ඨධම්ම සුඛ ද, විදර්ශනා ද ලබාගත හැකි ය.
ප්‍රශ්න.
- ආකාසානඤ්චායතනය ලැබිය හැක්කේ කවරකුට ද? එහි අරමුණ කිමෙක් ද? එය ලබන ආකාරය දක්වනු.
- විඤ්ඤාණඤ්චායතනය ලබන ආකාරය දක්වනු.
- ආකිඤ්චඤ්ඤායතනය ලබන ආකාරය දක්වනු.
- නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පැහැදිලි කරනු.
- ධ්‍යාන ලැබීමෙන් ලැබෙන ඵලය කිමෙක් ද?