8. පංචවිධ වසිතා හා ද්විතීය ධ්‍යානාදිය.

star_outline

ප්‍රථම ධ්‍යානය ලත් යෝගී විසින් ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛන යන පස් ආකාරයෙන් එය වශප්‍රාප්ත කැරැ ගත යුතු ය.

ආවජ්ජනවසිතා-ප්‍රථම ධ්‍යානයෙන් නැගී පළමු කොටැ විතර්කය ආවර්ජනය කළ යුතු ය. ඉක්බිති විචාරය ඉක්බිති පීතිය ඉක්බිති සුඛය ඉක්බිති එකග්ගතාව ආවර්ජනය කළ යුතු ය. නැවත ද විතර්කය ආවර්ජනය කළ යුතු ය. ඉක්බිති විවාරාදිය පිළිවෙලින් ආවර්ජනය කළ යුතු. මෙසේ ආවර්ජනය කරත් ම ජවන සතර පසකින් භවඞ්ග කීපයකින් ඔබ්බට නොගොස් නැවත නැවත ධ්‍යානාඞ්ග ආවර්ජනය කරන්නට සමර්ථ බව ආවජ්ජනවසිතා නම් වේ.

සමාපජ්ජනවසිතා-ධ්‍යානයට සමවදනට කැමැති වු ඇසිල්ලෙහි ශීඝ්‍ර වැ එයට සමවදනට සමර්ථ බව සමාපජ්ජනවසිතා නම් වේ.

අධිට්ඨානවසිතා-සම වැදුණු ධ්‍යානය අසුරුසණක් හෝ ඉන් වැඩියක් හෝ කැමැති තාක් කල් තබා ගන්නට සමර්ථ බව අධිට්ඨානවසිතා නම් වේ.

වුට්ඨානවසිතා-සමවැදුණු ධ්‍යානයෙන් කැමැති ඇසිල්ලෙහි ශීඝ්‍ර වැ නැඟී සිටින්නට සමර්ථ බව වුට්ඨානවසිතා නම් වේ.

පච්චවෙක්ඛණවසිතා-ආවජ්ජනවසිතාව සිද්ධ කල්හි මෙ ද සිද්ධ වුයේ වේ. “විතර්කාදි අඞ්ගයන් විෂය කොටැ ශීඝ්‍ර වැ ඉපද වූ ආවර්ජනානන්තර වැ ප්‍රත්‍යවෙක්‍ෂා ජවනයන් ලඝු කොටැ පවත්නට සමර්ථ බව ප්‍රත්‍යවෙක්‍ෂාවශිතා නම් වේ.” යනු පුරාණ සන්නයි.

මෙසේ පස් ආකාරයෙකින් ප්‍රථමධ්‍යානය වශප්‍රාප්ත කොටැ ගෙනැ ඉක්බිති ද්විතීය ධ්‍යානාදිය උපදවනු කැමැති නම් විතර්කාදි ඖදාරික අඞ්ග බැහැර කරනු පිණිස ද විචාරාදි සූක්‍ෂම අඞ්ග උපදවනු පිණිස ද භාවනා කොට ද්විතීය ධ්‍යානාදිය අර්පණාවත් කැරැ ගත යුතු. මේ සඳහා විස්තරයෙක් යට චිත්තපාදයෙහි දක්වන ලදි. ශ්‍රී ශාරිපුත්‍ර සංඝරාජ ස්වාමීහු එය මෙසේ පහදා දෙති.

ද්විතීය ධ්‍යානය

“මෙහි ආවර්ජනාදී පඤ්චවශිතායෙහි වශීභූතයා විසින් ප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානයෙන් නැගී “මේ සමාපත්ති තොමෝ ආසන්න නීවරණ සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂයෙන් ඇත්තීය යි ද විතර්කයාගේ ඖදාරිකත්‍වයෙන් අඞ්ග දුර්බලය යි ද ඒ ප්‍රථමධ්‍යානයෙහි දෙෂ දැක ද්විතීය ධ්‍යානය ශාන්ත හෙයින් මනස්කාර කොටැ ප්‍රථමධ්‍යානයෙහි නිකාන්ති දුරු කොටැ ද්විතීය ධ්‍යානාධිගමය පිණිස භාවනායොග කටයුත්තේ ය. ඉක්බිති ප්‍රථමධ්‍යානයෙන් නැඟී ස්මෘති සම්ප්‍රඥානයෙන් යුක්ත වූ ධ්‍යානාඞ්ගයන් ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නා වූ ඒ යෝගාවචරයා හට යම් කලෙක්හි විතර්කයා ඖදාරික හෙයින් වැටහේ ද විචාර ප්‍රීතිසුඛ ද චිත්තෙකාග්‍රතාව ද යනු මොහු ශාන්ත හෙයින් වැටහෙත් ද ඒ සමයෙහි ඕහට ඖදාරිකාඞ්ග ප්‍රහාණය පිණිස ශාන්තාඞ්ග ප්‍රතිලාභ පිණිස ද එම ප්‍රතිභාග නිමිත්තය “පඨවි පඨවි” යි නැවත මනස්කාර කරන්නා ම ද්විතීය ධ්‍යානය උපදනේය යි යන සමයෙහි භවාඞ්ගය සිඳ ගෙනැ එම පෘථිවි කසිණය අරමුණු කොටැ මනොද්වාරාවර්ජනය උපදනේ ය. ඉක්බිති එම අරමුණ නිමිත්ත කොටැ ගෙනැ යට කී පරිද්දෙන් සතර පස් ජවන කෙනෙක් පරිකර්මාදි නාමයෙන් උපදිති. ඔවුන්ගේ අවශානයෙහි විතර්ක වර්ජිත වූ විචාර ප්‍රීති සුඛ චිත්තෙකාග්‍රතායෙන් යුක්ත වූ එක ම රූපාවචර ද්විතීයධ්‍යානය උපදනේ ය. සෙස්ස යට කී පරිද්දෙන් දත යුත්තේ යි.

යම්සේ ප්‍රථමධ්‍යානයෙන් උපචාරක්‍ෂණයෙහි නීවරණයෝ ප්‍රහීණ වෙත් ද එපරිද්දෙන් ද්විතීය ධ්‍යානයාගේ උපචාරක්‍ෂණයෙහි විතර්කය ප්‍රහීණ වන්නේ නො වෙයි, අර්පණායෙහි ම විතර්ක රහිත වූ ද්විතීය ධ්‍යානය උපදනේ යි.

තෘතීය ධ්‍යානය

මෙසේ ද්විතීය ධ්‍යානය අධිගත කල්හි යට කී පරිද්දෙන් ම ආවර්ජනාදී පඤ්චශිතායෙහි කරන ලද පරිචය ඇති යෝගාවචරයා විසින් ප්‍රගුණ වූ ද්විතීය ධ්‍යානයෙන් නැඟී “මේ සමාපත්ති තොමෝ ආසන්න විතර්ක සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂයා ඇත්තීය යි ද විචාරයාගේ ඖදාරිකත්‍වයෙන් අඞ්ග දුර්බලය”යි ද ඒ ද්විතීය ධ්‍යානයෙහි දෝෂ දැක තෘතීය ධ්‍යානය ශාන්ත හෙයින් සලකා ද්විතීයධ්‍යානයෙහි නිකාන්තිය දුරු කොටැ තෘතීය ධානාධිගමය පිණිස භාවනා යෝග කටයුත්තේ ය. එහි යෙදෙන්නා වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් යුක්ත වූ යෝගාවචරයා හට ද්විතීය ධ්‍යානයෙන් නැඟී ධ්‍යානාඞ්ගයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා හට විචාරය ඖදාරික හෙයින් වැටහෙන්නේ ය. ප්‍රීති සුඛ ද චිත්තෙකාග්‍රතාව ද ශාන්ත හෙයිාන් වැටහෙන්නේ ය. ඒ සමයෙහි ඖදාරිකාඞ්ග ප්‍රහාණය පිණිස ද ශාන්තාඞ්ග ප්‍රතිලාභය පිණිස ද එම ප්‍රතිභාග නිමිත්ත “පඨවි පඨවි” කියා නැවත නැවත මනස්කාර කරන්නාහට දැන් තෘතීයධ්‍යාන උපදනේ ය යනාදීන් යට ප්‍රථම ධ්‍යානයෙහි කී පරිද්දෙන් විචාර වර්ජිත වූ ප්‍රීති සුඛ චිත්තෙකාග්‍රතා වශයෙන් ත්‍යඞ්ගික වූ තෘතීය ධ්‍යානය ද,

චතුර්ථධ්‍යානය

එසේ ම යට කී පරිද්දෙන් ප්‍රීති වර්ජිත වූ සුඛ චිත්තෙකාග්‍රතායෙන් යුක්ත වූ චතුර්ථධ්‍යානය ද,

පඤ්චමධ්‍යානය

සුඛවර්ජිත වූ උපෙක්‍ෂා චිත්තෙකාග්‍රතායෙන් යුක්ත වූ පඤ්චමධ්‍යානය ද උපදනේ යි. මෙහි දු ප්‍රීත්‍යාදි ඖදාරිකාඞ්ගයන්ගේ ප්‍රහාණය උපචාරක්‍ෂණයෙහි නො වැ අර්පණාක්‍ෂණයෙහි වන්නේය යි දත යුතු යි. “මෙසේ පඨවිකසිණාදි දෙවිසි කර්මස්ථානයෙහි ප්‍රතිභාග නිමිත්ත ලැබේ. සෙසු බුද්ධානුස්මෘති ආදින් අතුරෙන් අප්පමඤ්ඤා සතර සත්ත්‍ව ප්‍රඥප්තියෙහි පවතී.

ප්‍රශ්න.

  1. පඤ්චවශිතා විස්තර කරනු.
  2. ප්‍රථමධ්‍යානය ලැබැ ගන්නා ආකාරය කෙසේ ද?
  3. ද්විතීය ධ්‍යානය ලැබැ ගන්නා ආකාරය කෙසේ ද?
  4. තෘතීය ධ්‍යානය ලැබැ ගන්නා ආකාරය කෙසේ ද?
  5. චතුර්ථ පඤ්චම ධ්‍යානය ලැබැ ගන්නා ආකාරය කෙසේ ද?