10. (පඤ්චාභිඥා) සෘද්ධිවිධි.

ධ්‍යාන උපදවීමෙන් අභිඥා ලද හැකිය යි යට කියන ලදි. අභිඥා නම් විශිෂ්ට ඥාන විශේෂයෙකි. ඒ වනාහි ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්තවිජානන, පුබ්බෙනිවාසානුස්සති, දිබ්බචක්ඛු යි පස් වැදෑරුම් වේ.

අභිඥා ලබනු කැමැති ධ්‍යානලාභී විසින් භූත කසිණ සතරෙහි ද වර්ණ කසිණ සතරෙහි ද යන අට කසිණයෙහි වෙන් වෙන් වැ අෂ්ට සමාපත්ති උපදවිය යුතු. (මෙහි අෂ්ට සමාපත්ති යනු චතුෂ්කනයයෙන් කී බව දත යුතු. එයින් රූපී අරූපී සමාපත්ති නවය ම කියවිණ) එසේ උපදවා කසිණානුලෝම, කසිණපටිලොම, කසිණානුලොම පටිලොම, ඣානානුලොම, ඣානපටිලොම, ඣානානුලොම පටිලොම, ඣානුක්කන්තික, කසිණුක්කන්තික, ඣානකසිණුක්කන්තික, අඞ්ගසඞ්ගන්තික, ආරම්මණසංකන්තික අඞ්ගාරම්මණ සඞ්කන්තික අඞ්ගවවත්‍ථාපන ආරම්මණවවත්‍ථාපන යන තුදුස් ආකාරයෙන් සිත පුරුදු කළ යුතු.

කසිණානුලොම නම් මුල සිට අග දක්වා කසිණ පිළිවෙලින් ධ්‍යානයට සම වැදීම ය. පළමුකොට පඨවි කසිණයෙහි ධ්‍යානයට සම වැද ඉක්බිති ආපොකසිණයෙහි ඉක්බිති තේජොකසිණයෙහි මේ ආදී වශයෙන් අට කසිණයෙහි ම සිය දහස් වරකුදු ධ්‍යානයට සම වදින්නේ ය.

කසිණපටිලොම නම් අග සිට මුල දක්වා ධ්‍යානයට සම වැදීම ය. පළමු කොටැ ඔදාත කසිණයෙහි ධ්‍යානයට සම වැද ඉක්බිති ලොහිත කසිණයෙහි ඉක්බිති පීත කසිණයෙහි මේ ආදී වශයෙන් අග සිට මුල තෙක් සිය දහස් වරකුදු ධ්‍යානයට සම වදින්නේ ය.

කසිණානුලොම පටිලොම නම් මෙසේ මුල සිටැ අග දක්වා ද ධ්‍යානයට සම වැදීම ය.

ඣානානුලොම නම් ධ්‍යාන පිළිවෙලින් සම වැදීම ය. පළමු ප්‍රථමධ්‍යානයට සම වැද ඉක්බිති ද්විතීයධ්‍යානයට මේ ආදි වශයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක් සම වදින්නේ ය.

ඣානපටිලොම නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පටන් ප්‍රථමධ්‍යානය දක්වා සම වැදීම ය.

ඣානානුලොම පටිලොම නම් මෙසේ මුල සිට අග දක්වා ද සම වැදීම ය.

ඣානුක්කන්තික නම් ධ්‍යාන එකක් හැරැ එකකට සම වැදීම ය. පඨවි කසිණයෙහි ප්‍රථමධ්‍යානයට සමවැද එහි මැ තෘතීය ධ්‍යානයට සමවැද එම උගුළා ආකාශානඤ්චායතනයට ද එයින් ම ආකිඤ්චඤ්ඤායතනයට ද සම වදින්නේ ය. ආපොකසිණාදියෙහි ද මෙසේ ය.

කසිණුක්කන්තික කසිණ එකක් හැරැ එකකට සමවැදීමය පඨවි කසිණයෙහි ප්‍රථමධ්‍යානයට සම වැදැ ඉක්බිති තේජොකසිණයෙහි ද ඉක්බිති නීලකසිණයෙහි ද ඉක්බිති ලොහිත කසිණයෙහි ද ප්‍රථමධ්‍යානයට ම සම වදින්නේ ය. ද්විතීයධයානාදියට ද මෙසේ ය.

ඣානකසිණුක්කන්තික නම් ධ්‍යාන හා කසිණ දෙකොටස ම එකක් හැරැ එකකට සම වැදීම ය. පඨවි කසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද තේජොකසිණයෙහි තෘතීයධ්‍යානයට සම වැදීම ආදි වශයෙනි.

අඞ්ගසඞ්කන්තික නම් අඞ්ග පිළිවෙලින් සම වැදීම ය. පඨවි කසිණයෙහි ප්‍රථමධ්‍යානයට සම වැදී එහි ම ද්විතීය ධ්‍යානාදියට ද සම වදින්නේ ය.

ආරම්මණසඞ්කන්තික නම් ආරම්මණ පිළිවෙලින් සම වැදී ම ය. පඨවිකසිණයෙහි ප්‍රථමධ්‍යානයට සමවැද ආපොකසිණාදියෙහි ද ප්‍රථමධ්‍යානයට සම වදින්නේ ය. සෙස්සෙහි ද එසේ ය.

අඞ්ගාරම්මණ සඞ්කන්තික නම් අඞ්ග අරමුණු දෙකටම එකන්තරික වශයෙන් සම වැදීම ය. පඨවි කසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද ආපොකසිණයෙහි ද්විතීය ධ්‍යානයට ද තේජො කසිණයෙහි තෘතීයධ්‍යානයට ද සම වදින්නේ ය. සෙස්ස ද එසේ ය.

අඞ්ගවවත්‍ථාපන නම් ප්‍රථමධ්‍යානය පඤ්චාඞ්ගික ය යනාදී වශයෙන් අඞ්ගමාත්‍ර ව්‍යවස්ථා කිරීම ය.

ආරම්මණවවත්‍ථාපන නම් යම් පඨවි කසිණය මේ ආපො කසිණය යනාදී වශයෙන් ආරම්මණ මාත්‍ර ව්‍යවස්ථා කිරීම ය.

මේ තුදුස් ආකාරයෙන් සිත පුරුදු නො කොට සෘද්ධි විධි ලබන්නේය යනු කිසි කලෙක සිද්ධ නොවන්නෙකි. පළඳනා කරනු කැමැති රන්කරු රන් මනා වැ මෘදු කැරැ ගත යුතු ය. බඳුන් කරන කුඹලා මැටි මනා වැ පදම් කැරැ ගත යුතු ය. එසේ ම සෘද්ධි විධි කරනු කැමැති යෝගී මේ තුදුස් ආකාරයෙන් සිත පිළියෙල කැරැ ගත යුතු ය. එසේ පිළියෙල කැරැ ගත් කල්හි ඔහුගේ සිත පිරිසිදු ය. ප්‍රභාස්වර ය, අනඞ්ගණ ය, උපක්ලේශ රහිත ය, මෘදු ය. කර්මණ්‍ය ය, ස්ථිත ය, අචඤ්චල ය, එවිට ම ඔහුට සෘද්ධි විධි පිණිස තමාගේ සිත නමාලිය හැකි ය.

සෘද්ධි වනාහි අධිට්ඨාන සෘද්ධි විකුබ්බන සෘද්ධි, මනොමය සෘද්ධි, ඤාණවිප්ඵාර, සෘද්ධි සමාධිවිප්ඵාර සෘද්ධි, අරිය සෘද්ධි කම්ම විපාකජ සෘද්ධි, පුණ්‍යවත් සෘද්ධි විජ්ජාමය සෘද්ධි, පයොගපච්චය සෘද්ධි ය යි දස වැදෑරුම් වේ.

අධිෂ්ඨාන වශයෙන් නිපදෙන සෘද්ධි අධිෂ්ඨාන සෘද්ධි යි තෙමේ එකෙක් වැ සියයෙක් දහසෙක් වේවා යි ඉටු කල්හි එසේ වන්නේ ය.

ප්‍රකෘති ශරීරය හැරැ අන්‍ය වෙශයෙන් පෙනී සිටීම විකුබ්බන සෘද්ධි යි. තෙමේ භික්‍ෂු වැ කුමාර වශයෙන් හෝ හස්ති ආදි වශයෙන් හෝ පෙනී සිටින්නේ ය.

ස්වකීය ශරීරය ඇතුළෙහි අන්‍ය වූ මනොමය ශරීර නිපදවීම මනොමය සෘද්ධි යි. හේ සිය සිරුර සිදුරෙක් වේවා යි ඉටා එහි අන්‍ය කයක් මවා කොපුවෙන් කඩුව මෙන් එය ඇද දක්වන්නේ ය.

ඥානානුභාවයෙන් නිපදන විශේෂ අනුහස ඤාණවිප්ඵාර සෘද්ධි යි. බක්කුල ස්වාමි ද සංකිච්ච ස්වාමි ද භූතපාල දරු ද මරණ ගැලවුණේ ඤාණවිප්ඵාර සෘද්ධියෙනි. ඒ ජන්මයෙහි රහත් වන්නට හේතු ඇත්තෝ කවර විපතකින් හෝ ගැලවෙත්.

සමාධියෙන් ලැබෙන අනුහස සමාධි විප්ඵාර සෘද්ධි යි. ශාරිපුත්‍ර ස්වාමි පුනුපොහෝදා සඳපහනේ යකු දුන් ටොකු පහරින් ද සඤ්ජීව ස්වාමි ගොපලුන් දුන් ගිනිදැල්ලෙන් ද, ඛාණු කොණ්ඩඤ්ඤ ස්වාමි පල්හොරුන්ගේ බඩු බරින් ද, උත්තරා නම් පුණ්ණක සිටු දූ සිරිමා නම් ගෑණි විසින් ඉසි උණු තෙලින් ද, සාමාවති උදෙන රජු වීදි ඊ පහරින් ද ගැලවුණේ සමාධි විප්ඵාර සෘද්ධියෙනි.

චෙතොවශප්‍රාප්ත ආර්යයන්ගේ පිළිකුලෙිහ නො පිළිකුල් බව සැලකීම් ආදිය ආර්ය සෘද්ධි යි. ඔවුහු පිළිකුල් අරමුණක් දුටු විට එහි මෙත් වඩා හෝ ධාතු වශයෙන් සලකා හෝ නො පිළිකුල් අරමුණක් කැරැ ගනිති.

පක්‍ෂීන්ගේ ද දෙවාදීන්ගේ ද අහස් ගමන් ආදිය කම්මවිපාකජ සෘද්ධි යි.

චක්‍රවර්ති රජුන්ගේ අහස් ගමන් ආදිය පුණ්‍ය සෘද්ධි යි. එසේ ම මෙණ්ඩක, ජොතිය, ජටිලක, ඝොසිතාදීන්ගේ අනුහස් පුණ්‍ය සෘද්ධිය යි.

විද්‍යාධරයන්ගේ අහස් ගමන් ආදිය විද්‍යාමය සෘද්ධි යි.

ඒ ඒ ක්‍රියා මනාව කිරීමෙන් සමෘද්ධවීම ප්‍රයෝග ප්‍රත්‍යය සෘද්ධි යි. නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය ප්‍රහාණ වේ. අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙස් ප්‍රහාණ වේ. ශිල්පකර්මාන්ත වෙදකම් ගොවිකම් ආදිය ද ප්‍රයෝග සත්‍යය සෘද්ධියෙහි ඇතුළති.

මේ දශවිධ සෘද්ධි අතුරෙන් මෙහි ලා ගත යුත්තේ අධිෂ්ඨාන, විකුබ්බන, මනොමය යන සෘද්ධිත්‍ර ය යි,

සෘද්ධිය පිළිබඳ භූමි සතරෙක් ද, පාද සතරෙක් ද, පද අටෙක් ද, මුල් සොළොසෙක් ද ඇත්තේ ය.

භූමි සතර නම් පඨමජ්ඣාන, දුතියජ්ඣාන, තතියජ්ඣාන, චතුත්‍ථජ්ඣාන යන ධ්‍යාන සතර යි. මින් මුල් තුන සම්භාර භූමි ය. අන්තිමය ප්‍රකෘති භූමි යි.

පාද සතර නම් ඡන්‍දිද්ධිපාද, විරියිද්ධිපාද, චිත්තිද්ධිපාද, වීමංසිද්ධිපාද යන සතර යයි.

පාද අට නම් ඡන්‍ද, සමාධි, විරිය, සමාධි, චිත්ත, සමාධි, වීමංසා, සමාධි යන අට යි.

මුල් සොළොස නම් “අනොන්තං චිත්තං කොසජ්ජෙන ඉඤ්ජතී ති ආනෙඤ්ජං” යනාදීන් දක්වන ලද්දේ ය. මේ සියල්ල පිළිබඳ විස්තර විශුද්ධි මාර්ගයෙහි ය.

මෙසේ සෘද්ධිය පිළිබඳ භූමි, පාද, පද, මූලධර්ම සම්පාදනය කොටැ ගෙනැ අභිඥාපාදක ධ්‍යානයට සමවැද එයින් නැඟී ඉදින් සියයක් වනු කැමැත්තේ නම් “සතං හොමි සතං භොමි” යි පරිකර්ම කොටැ නැවත අභිඥාපාදක ධ්‍යානයට සමවැද යින් නැගී අධිෂ්ඨාන කළ යුතු ය. අධිෂ්ඨානය හා සමග ම සියයෙක් වන්නේ ය. පුරාණ සන්නයෙහි මේ අර්ථය මෙසේ දක්වති.

“ලෞකික පඤ්චාභිඥා උපදවනු කැමැත්තා වූ ආදි කම්මික යෝගාවචරයා විසින් අවදාත කෘතසනය කෙළවර කොටැ ඇති අට කසිණයෙහි අෂ්ට සමාපත්ති උපදවා “කසිණානුලොම තො කසිණපටිලොමතො” යනාදීන් දක්වන ලද තුදුස් ආකාරයෙන් චිත්තය දමා “එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධ” යනාදීන් දක්වන ලද අෂ්ටාඞ්ගයෙන් සමන්විත වූ චිත්තයෙහි අභිඥා ඉපදවිය යුතු ය. මෙහි එක දේශයකින් සෘද්ධිවිධඥානයට මතු භාවනා විධි දක්වනු ලැබේ. එහි යට කී පරිද්දෙන් පඨවිකසිණය විෂය කොටැ රූපාවචර අෂ්ට සමාපත්ති උපදවා කසිණානුලොමතාදී වූ තුදුස් ආකාරයෙකින් චිත්තය දමා අභිනීහාර ක්‍ෂම කොටැ අභිඥාපාදක පඤ්චමධ්‍යානයට සමවැද එයින් නැඟී ඉදින් සතයක් ම වනු කැමැත්තේ වී නම් “සතං හොමි සතං හොමි” යි භාවනා කොටැ නැවත පාදක ධ්‍යානයට සමවැද එයින් නැඟී අධිෂ්ඨාන කටයුත්තේ ය. අධිෂ්ඨාන චිත්තය හා සමග මැ ශතයෙක් ම වන්නේ ය. සහස්‍රාදියෙහි දු මෙසේ මැ යි” යි.

ප්‍රශ්න.

  1. අභිඥා කී වැදෑරුම් ද? අභිඥා යන්නෙහි තේරුම කිම?
  2. සෘද්ධි ලැබීම පිණිස සිත පුරුදු කළ යුතු තුදුස් ආකාරය දක්වනු.
  3. සෘද්ධි කී වැදෑරුම් ද? ඒ විස්තර කරනු.
  4. සෘද්ධි පිළිබඳ භූමි, පාද, පද, මුල් දක්වනු.
  5. අධිෂ්ඨාන සෘද්ධිය වන පරිදි දක්වනු.