12. විදර්ශනා කර්මස්ථානය.

සමථ කර්මස්ථාන විධි යට දක්වන ලදි. විදර්ශනා කර්මස්ථාන විධි මෙහි දක්වනු ලැබේ. ඒ සඳහා සප්ත විශුද්ධි, ත්‍රිලක්‍ෂණ, ත්‍රිවිධ අනුපස්සනා, දශවිදර්ශනා, ත්‍රිවිධ විමොක්‍ෂ, ත්‍රිවිධ විමොක්‍ෂ සුඛ යන මේ උගත යුතු ය.

සප්ත විශුද්ධි නම් - සීල විශුද්ධි, චිත්ත විශුද්ධි, දිට්ඨි විශුද්ධි, කංඛාවිතරණ විශුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධි, පටිපදා ඤාණදස්සන විශුද්ධි, ඤාණදස්සන විශුද්ධි යන මේ ය.

ත්‍රිලක්‍ෂණ නම් - අනිත්‍ය ලක්‍ෂණ, දුඃඛ ලක්‍ෂණ, අනාත්ම ලක්‍ෂණ යන මේ ය.

ත්‍රිවිධ අනුපස්සනා නම්- අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා යන මේ ය.

දශ විදර්ශනා ඥාන නම්-සම්මසන ඤාන, උදයව්‍යය ඤාණ, භඞ්ගඤාණ, භයඤාණ, ආදීනවඤාණ, නිබ්බිදාඤාණ, මුඤ්චීතුකම්‍යතාඤාණ, පටිසංඛානඤාණ, සංඛාරුපෙක්ඛඤාණ, අනුලොමඤාණ යන මේ ය.

ත්‍රිවිධ විමොක්‍ෂ නම්-සුඤ්ඤත විමොක්‍ෂ, අනිමිත්ත විමොක්‍ෂ, අප්පණිහිත විමොක්‍ෂ යන මේ ය.

ත්‍රිවිධ විමොක්‍ෂ මුඛ නම්- සුඤ්ඤතානුපස්සනා, අනිමිත්තානුපස්සනා, අප්පණිහිතානුපස්සනා යන මේ ය.

මේ උගත් කල්හි විදර්ශනාකර්මස්ථාන විධි උගත්තේ වේ. සාමාන්‍ය ලෝකයා සේ සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂාදී වශයෙන් හෝ නිත්‍ය සුඛ ආත්මාදි වශයෙන් හෝ නො බලා ස්කන්‍ධ ධාතු ආයතනාදි වශයෙන් ද බලන්නේ විදර්ශනා ය. කර්ම නම් භාවනා ප්‍රයෝගය යි. විදර්ශනා පිළිබඳ කර්ම-භාවනා ප්‍රයෝග විදර්ශනා කර්මයට ස්ථාන වන්නේ භූමි වන්නේ විදර්ශනා කර්මස්ථාන යි.

ප්‍රශ්න.

  1. විදර්ශනාකර්මස්ථාන යනු කිම?
  2. සප්ත විශුද්ධි කවරේ ද?
  3. ත්‍රිලක්‍ෂණ ද ත්‍රිවිධ අනුපස්සනා ද දක්වනු.
  4. දශවිදර්ශනාඥාන කවරේ ද?
  5. ත්‍රිවිධ විමොක්‍ෂ හා ත්‍රිවිධ විමොක්‍ෂ මුඛ දක්වනු.