13. (සප්ත විශුද්ධි) සීල විසුද්ධිය.

star_outline

විදර්ශනා භාවනාවෙන් නිවන් අවබෝධ කළ හැකිය යි යට කියන ලදි. නිවන් අවබෝධ කටැටියා සත් ආකාරයෙකින් විශුද්ධ විය යුතුය. සත්වන වර විශුද්ධ වත්ම ඔහුට නිවන් පෙනෙන්නේ ය. එහි පළමුවන විශුද්ධිය ශීල විශුද්ධිය යි. බීජ රෝපණයට පෙර භූමිය සකස් කැරැ ගත යුතු සේ චිත්ත විශුද්ධියට පෙර ශීලය සකස් කළ යුතු ය. ශීලය අපිරිසිදු නම් චිත්තය ද පිරිසිදු නො වන්නේ ය. ශීලය නම් කය වචන දෙක්හි සංවරය යි. එය පංචශීල අෂ්ටාඞ්ග ශීල දශශීලාදි වශයෙන් නානාවිධ ය. එහි මුල පංච ශීලය යි කිය යුතු. සික්ඛාපද විභඞ්ගයෙහි වදාළේත් පඤ්ච ශීලය යි. උත්කෘෂ්ටය සතර සංවර ශීලය යි. සතර සංවර ශීල නම් ප්‍රාතිමොක්‍ෂ සංවර ශීල, ඉන්‍ද්‍රිය සංවර ශීල, අජීවපාරිශුද්ධි ශීල, ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීල යන මේ ය. මේ ම ශීලවිශුද්ධිය යි දත යුතු.

ප්‍රාතිමොක්‍ෂ සංවරශීලය.

ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය නම් ශික්‍ෂාපද ශීලය යි. බුදුරජාණන් වහන්සේ විනයයෙහි වදාළ ශික්‍ෂාපද රැකීම ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය යි සේ යි. විනය වනාහි විභඞ්ග, ඛන්‍ධක, පරිවාරය යි කොටස් තුනකට බෙදන ලද්දේ ය. විභඞ්ග නම් භික්ඛු විභඞ්ග භික්ඛුනී විභඞ්ග යන උභතො විභඞ්ගයෙන් යුත් පාරාජික පාළි, පාචිත්තිය පාළි යන පොත් දෙක ය. ඛන්‍ධක නම් චුල්ලවග්ගපාළි, මහාවග්ගපාළි යන පොත් දෙක ය. පරිවාර නම් පරිවාර පාළි යන පොත ය. මේ සියල්ලෙහි ඇතුළත් ශික්‍ෂාපද පාරාජික, සංඝාදිසෙස, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට යන ආපත්තී ස්කන්‍ධ පසර හෝ පාරාජික, සංඝාදිසෙස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටි දෙසනීය, දුක්කට, දුබ්භාසිත යන ආපත්ති ස්කන්‍ධ සතට හෝ ඇතුළත් කරන ලද්දේ ය. එහි දැක්වුණු එක ශික්‍ෂා පදයකුදු ව්‍යතික්‍රමණය කිරීමෙන් ආපත්තීන්ට නො පැමිණ, හදිසියේ පැමිණිය ද එයින් නැඟී ශුද්ධ වැ විසීම ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය යි.

විශුද්ධිමාර්ගයෙහි ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය මෙසේ දක්වයි. “ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාර ගොචර සම්පන්නො අනුමත්තෙසු වජ්ජෙසු භය දස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු” යි ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවෘත වැ ආචාර ගෝචර දෙකින් යුක්ත වැ ස්වල්ප මාත්‍ර වරදෙහි පවා බිය දක්නා සුලු වැ ශික්‍ෂාපද සමාදන් වැ ගෙනැ විසීම ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය වේ යනු එහි අර්ථ යි.

“ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවෘත වැ” යන්නෙහි තේරුම යට කියන ලද්ද ම ය.

“ආචාර ගෝචර දෙකින් යුක්ත වැ” යන මෙහි ආචාර ද ඇත. අනාචාර ද ඇත. ගෝචර ද ඇත. අගෝචර ද ඇත. අනාචාර නම් කයෙන් වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රම කිරීම ය. සියලු දුසිල් කර්ම ය. වෙළුදානාදි අෂ්ට කුල දූෂණ එක්විසි අනෙසනාදියෙන් දුරු වැ විසීම ය. අගෝචර නම් වෙසඟනන්, වැන්දඹුවන්, ළමිස්සියන්, පණ්ඩකයන්, භික්‍ෂුනීන්, පානාගාරයන්, රාජ රාජාමාත්‍යයන්, තීර්ථකශ්‍රාවකයන් ඇසුරු කිරීම ය, නුසුදුසු ගිහි සංසර්ගයෙන් විසීම ය, භික්‍ෂූන්ට ආක්‍රොශ පරිභව බෙණෙන ශ්‍රද්ධා ප්‍රසාද නැති කුලයන් ඇසුරු කිරීම ය. ගෝචර නම් එසේ නුසුදුස්සන් ඇසුරු නො කොටැ සුදුසු තැන් ඇසුරු කිරීම යි. මෙහි තව ද විස්තර ඇත්තේ ය. සෙස්ස සුබොධයි.

ඉන්‍ද්‍රිය සංවර ශීලය.

ඉන්‍ද්‍රිය සංවර ශීලය නම් චක්‍ෂුරාදි ෂඩින්‍ද්‍රියයන් සංවර කොටැ ගෙනැ විසීම ය. ඒ එසේ මැ යි. එයින් යුක්ත තැනැත්තා ඇසින් රූප දුටුව ද එහි නිමිති නො ගන්නේ ය. කුඩා නිමිති හෝ නො ගන්නේ ය. ඇසින් අසංවර වන්නහු කරා ලෝභද්වේෂාදි පාපධර්මයෝ ළං වෙති. එසේ ළංවන්නට අවකාශ නොතබා ඇස සංවර කැරැ ගෙනැ වසන්නේ ය. කනින් ශබ්ද ඇසුව ද, නැහැයෙන් ගඳ සුවඳ ගත ද, දිවින් රස විඳිය ද, ශරීරයෙන් ස්පර්ශ ලදුව ද සිතින් අරමුණු ලදුව ද එහි නිමිති හෝ නො ගන්නේ ය. ශ්‍රොත්‍රාදිය සංවර කැරැ ගෙනැ වසන්නේ ය.

ආජීව පාරිසුද්ධි ශීලය.

ආජීව පාරිශුද්ධි ශීලය නම් ආජීවය පිරිසිදු කැරැගෙන විසීම ය. ආජීවය නිසා ශික්‍ෂාපද සයක් මර්දනය කළ හැකි ය. තමා කෙරෙහි නැති උතුරු මිනිස් දම් ගුණ ඇතැ යි අඟවා පාරාජික විය හැකි ය. කපු කම් කථා කොට සංඝාදිසෙසයට පත්විය හැකි ය. අන්‍යොපදේශයෙන් උතුරු මිනිස්දම් අඟවා ථුල්ලච්චයට පැමිණිය හැකි ය. නොගිලන් වැ පිණිබොජුන් ඉල්ලාගෙනැ වළඳා පාචිත්තියට පැමිණිය හැකි ය. භික්ඛුනියට ද නො ගිලන් වැ පිණි බොජුන් ඉල්ලා ගෙනැ වළඳා පාටිදෙසනීයට පැමිණිය හැකි ය. භික්ඛුනියට ම නො ගිලන් වැ සූපබ්‍යඤ්ජන ඉල්ලා ගෙනැ වළඳා දුක්කටයට පැමිණිය හැකි ය. තව ද “කුහනා, ලපනා, නෙමිත්ත කතා, නිප්පෙයිකතා, ලාභෙන ලාභංනිජිගිංසනතා” යන පාප ධර්මයන්ගේ වශයෙන් ද ආජීවය රැකැ ගත හැකි ය. (විස්තර සිංහල විසුද්ධිමාර්ගයෙහි බලනු) එසේ නො කොටැ දැහැමින් සෙමෙන් දිවි පැවැත්ම ආජීව පාරිශුද්ධි ශීලය යි.

ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය.

සිව්පස වළඳනා කල සිහිකල්පනායෙන් වැළඳීම ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය යි. ඒ එසේ මැ යි. සිව්රු හඳනා පොරෝනා කල මෙසේ සැලකිය යුතු ය. “මම මේ සිවුරු කල්පනායෙන් යුක්තවැ පරිභොග කරමි. මම මේ පරිභොග කරන්නේ ශීත, උෂ්ණ, මැසි, මදුරු, අවු, සුළං, සර්ප යන මොවුන්ගේ ස්පර්ශ නැති කැරැ ගැන්ම සඳහා ය. ලජ්ජාස්ථාන මුවහ කැරැ ගැන්ම සඳහා ය” යි. පිණ්ඩපාතය වළඳනා කල මෙසේ සැලකිය යුතු ය. “මම මේ පිණ්ඩපාතය කල්පනාවෙන් යුක්ත වැ වළඳමි. මම මේ වළඳන්නේ සෙල්ලම් පිණිස හෝ මද පිණිස අඟ පසඟ පිනවා ගැන්ම පිණිස හෝ අලංකාර පිණිස හෝ නො වේ. මම මේ වළඳන්නේ මේ ශරීරය වැටී යා නො දී සිටුවා ගැන්ම පිණිස ය. යැපීම පිණිස ය. බඩ ගිනි හිංසා වළකා ගැන්ම පිණිස ය. බ්‍රහ්මචරියාවට අනුබල දීම පිණිස ය. මම මේ පිණ්ඩපාතය වැළඳීමෙන් පැරණි බඩගිනි වේදනා නැති කැරැ ලන්නෙමි. අළුත් වේදනා නූපදවා ගන්නෙමි. මෙයින් මගේ දිවි පැවැත්ම වන්නේ ය. නිවරද බව ද පහසු වාසය ද වන්නේ ය”යි. සෙනසුන් පරිභෝග කරන කල මෙසේ සැලකිය යුතු ය. “මම කල්පනායෙන් යුක්ත වැ මේ සෙනසුන් පරිභෝග කරමි. මම මේ පරිභෝග කරන්නේ ශීත, උෂ්ණ, මැසි, මදුරු, අවු, සුළං, දීර්ඝ සර්ප යන මොවුන්ගේ ස්පර්ශ වළකා ගැන්ම පිණිස ය. සෘතු පීඩා වළකා ගැන්ම පිණිස ය. විවේක සුවය ලැබැගන්නා පිණිස ය” යි ගිලන්පස බෙහෙත් පිරිකර වළඳනා කල මෙසේ සැලකිය යුතුය. “මම කල්පනායෙන් යුක්ත වැ ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමි. මම මේ වළඳන්නේ ඉපිද තිබෙන නානාවිධ ආබාධ වේදනා නැතිකැරැ ගැන්ම පිණිසය. නිදුක් බව පිණිස ය” යි.

මින් ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලය ඇවැත් දෙසීමෙන් පිරිසිදු වන බැවින් දේශනා ශුද්ධිය යි ද, ඉන්‍ද්‍රියසංවර ශීලය සංවරයෙන් ශුද්ධ වන බැවින් සංවරශුද්ධිය යි ද, ආජීව පාරිශුද්ධිශීලය පර්යේෂණයෙන් ශුද්ධ වන බැවින් පර්යේෂණ ශුද්ධිය යි ද, ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය ප්‍රත්‍යවේක්‍ෂායෙන් ශුද්ධ වන බැවින් ප්‍රත්‍යවේක්‍ෂාශුද්ධිය යි ද කියනු ලැබේ. මේ සතර ආකාර පාරිශුද්ධිය යි ද දත යුතු. (විස්තර විශුද්ධිමාර්ගයෙහි ය.)

ප්‍රශ්න.

  1. ශීලවිශුද්ධි යනු කවරේ ද?
  2. ප්‍රාතිමොක්‍ෂසංවර ශීලය විස්තර කරනු.
  3. ඉන්‍ද්‍රියසංවර ශීලය කවරේ ද?
  4. ආජීව පාරිශුද්ධි ශීලය කෙසේ වේ ද?
  5. ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය ලැබෙන පරිදි දක්වනු.