11. (පංචාභිඥා) දිබ්බසොත, පරචිත්ත විජානන, පුබ්බෙනිවාසානුස්සති, දිබ්බචක්ඛු.

දිබ්බසොතය.

දෙවියන්ගේ ශ්‍රොත්‍ර හෙවත් කන් ඉතා පිරිසිදු ය. සෙම් ආදියෙන් අපළිබුද්ධ බැවින් ඉතා දුරවූ ශබ්ද එහි හැපෙන්නේ ය. භාවනා බලයෙන් නිපදවා ගන්නා එ බඳු ඥාන ශ්‍රොත්‍ර ධාතුවෙක් මෙහි දිබ්බසොතය යි කියනු ලැබේ. එය ලබා ගන්නා ආකාරය මෙසේ ය.

දිබ්බසොතය ලැබැ ගනු කැමැති යෝගී විසින් අභිඥා පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී පරිකර්ම සමාධි සිතින් ප්‍රකෘති ශ්‍රොතයෙහි වැටෙන ආරණ්‍යයෙහි සිංහාදීන්ගේ ශබ්ද පටන් කුරු කුහුඹුවන්ගේ ශබ්ද දක්වා ඇසිය යුතු ය. ඒ ශබ්ද දිශා වශයෙන් අසුවල් අසුවල් දිශාවෙහි ය යි ව්‍යවස්ථා කටයුතු ය. ඒ ශබ්ද ප්‍රකෘති ශ්‍රොත්‍රයට ද ප්‍රකට වත ත් පරිකර්ම සිතට වඩාලාත් ප්‍රකට වන්නේ ය. මෙසේ ශබ්ද නිමිත්ත මෙනෙි කරත් ම දැන් දිබ්බසෝත ධාතුව උපදින්නේය යි ඒ ශබ්ද අතුරෙන් කිසිවක් අරමුණු කොටැ මනොද්වාරාවර්ජනය උපදින්නේ ය. ඒ නිරුද්ධවත් ම පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූ සිත් ඉපිදැ චතුර්ථධ්‍යානය අර්පණා වන්නේ ය. ඒ අර්පණා සිතෙහි පවත්නා ප්‍රඥාව දිබ්සෝත ධාතුය යි දත යුතු. එය ශක්තිමත් කැරැ ගනු කැමැත්තහු විසින් “මේ අතර පවත්නා ශබ්ද අසමි” යි අඟුල්, දෑඟුල්, සිව් අඟුල්, අටඟල්, වියත් රියත් ආදි වශයෙන් ද එක් සක්වළක් වශයෙන් ද ඉනුත් ඔබ ලෝකය වශයෙන් ද රිසි තාක් පරිච්ඡේද කොට කොටැ වැඩිය යුතු ය. එසේ වඩා ඒ අතර ශබ්ද ඇසිය යුතු ය. ඔහුට මුළු ලොවැ පුරා සිට නානාවිධ ශබ්ද මේ අසුවල් ශබ්දය මේ අසුවල් ශබ්දය ය යි වෙන් කොටැ ද දත හැකි ය.

පරචිත්ත විජානනය.

පරචිත්ත විජානනය නම් අනුන්ගේ සිත් දැනැ ගන්නා නුවණය. “චෙතොපරියඤාණය” යනු දු මේ ය. එය දිව්‍ය චක්‍ෂුරභිඥාන වශයෙන් ලැබෙන්නකි. පරිකර්ම ද දිව්‍ය චක්‍ෂුරභිඥානයට කියන ලද සේ ය. එබඳු යෝගී විසින් ආලෝක වඩා දිවැසින් අන්‍යයන්ගේ හෘදය වස්තුව නිසා පවතින ලෙයෙහි වර්ණය බලා ඒ විසින් සිත කිය යුතු ය. සිත සොම්නස් වැ පවත්නා කල පැසුණු නුග ඵලයක් සේ ලෙය රත් පැහැ වන්නේ ය. සිත උපෙක්‍ෂාව පවත්නා කල ප්‍රසන්න තල තෙල් සේ ප්‍රසන්න වන්නේ ය. එසේ හෙයින් හෘදය වස්තුගත රුධිර වර්ණය බලා සිත කිය යුතු ය. මේ ඥානය ක්‍රමයෙන් ශක්තිමත් වූ කල්හි මේ කාමාවචර චිත්තය, මේ රූපාවචර චිත්තය යනාදිය ද කිය හැකි ය. අරූපාවචරයන්ට හෘදය වස්තු නැත. ඔවුන්ගේ සිත කීම විශේෂ සෘද්ධියෙකි. සිතින් සිතට සංක්‍රමණය වන්නේ එයද කියන්නේ ය.

පුබ්බෙනිවාසානුස්සතිය.

පුබ්බෙනිවාසානුස්සති නම් පෙර වුසූ කඳ පිළිවෙල දන්නා නුවණ ය. හෙවත් අතීත ජාතීන්හි තමාගේ ස්කන්‍ධ ප්‍රවෘත්ති පරිපාථිය දන්නා නුවණ ය. මේ නුවණ වනාහි තීර්ථකයන්ට ද බුද්ධ ශ්‍රාවකයන්ට ද, මහා ශ්‍රාවකයන්ට ද, අග්‍ර ශ්‍රාවකයන්ට ද, පසේ බුදුවරයන්ට ද, සම්මාසම්බුදුවරයන්ට ද ඇත්තේ ය. එයින් තීර්ථකයෝ සතළිස් කපක් ම දකින්නට සමර්ථ වෙති. ඉන් ඔබ දක්නට සමර්ථ නොවෙති. බුද්ධ ශ්‍රාවකයෝ කල්ප සියයක් දහසක් ද, අසූමහා ශ්‍රාවකයෝ කල්ප ලක්‍ෂයක් ද, දෑගසව්වෝ එකා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද, පසේ බුදුවරයෝ දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද දකින්නට සමර්ථ වෙති. සම්මාසම්බුදුවරයෝ රිසි තාක් දක්නට සමර්ථ වෙත්. එහි ප්‍රමාණ නියමයෙක් නැත.

පුබ්බෙනිවාසය සිහි කරනු කැමැති ආදිකර්මික යෝගී විසින් දවල් දානය වැළඳීමෙන් පසු රහොගත වැ විවේක ස්ථානයකට එළඹැ පිළිවෙලින් චතුර්ථධ්‍යානයන්ට සමවැද අභිඥාපාදක වූ ඒ චතුර්ථධ්‍යානයෙන් නැඟී (මේ චතුස්කනය වශයෙනි. පඤ්චම ධ්‍යානය ද මෙහි ය.) එහි අන්තිම හිඳ ගැන්ම සිහි කළ යුතු. ඉක්බිති අසුන පනවා ගැන්ම ද, සෙනසුනට පැමිණීම ද, පා සිවුරු තැන්පත් කිරීම ද, වැළඳූ කාලය ද, ගමින් ආ කාලය ද, ගමෙහි පිඬු පිණිස හැසුරුණු කාලය ද, විහාරයෙන් නික් මැ ගිය කාලය ද ආදි වශයෙන් ගතවුණු සියල්ල ප්‍රතිලෝම වශයෙන් සිහිකළ යුතු ය. මෙය ප්‍රකෘති සිතට ද ප්‍රකට ය. පරිකර්ම සමාධි සිතට විශේෂයෙන් ප්‍රකට ය. යම් තැනෙක් සිහියට නො නැඟේ නම් එහිදී පාදක ධ්‍යානයට සමවැද එයින් නැඟී නැවත සිහි කළ යුතු ය. එවිට පහන් එළියෙන් මෙන් පෙනෙන්නේ ය. මෙසේ පෙර දවසද එයටත් පෙර දවසදැයි අවුරුදු දෑ අවුරුදු ආදී වශයෙන් යට යට සිහි කරන්නේ ය. අන්තිමයේ දී බිහිවුණු කාලය ද ප්‍රතිසන්‍ධි කාලය ද සිහි කරන්නේ ය. මේ ජන්මයෙහි ප්‍රතිසන්ධිය සිහි කළ ද එය පූර්වනිවාසානුස්මෘතිය නො වේ. ප්‍රතිසන්ධියෙන් ඔබ ගිය ජාතියෙහි ච්‍යුතික්‍ෂණය සිහිකළ හොත් එය පූර්වනිවාසානුස්මෘති ඥානය වන්නේ ය. ඒ සිහි කිරීම ඉතා දුෂ්කර ය. සිහි නොවත් හොත් බැරිය යි නො සිතා පාදක ධ්‍යානයට සම වැද එයින් නැඟී නැවත ද සිහි කරන්නේ ය. ගස් කපන මිනිසෙක් ගස බොහෝ දුර කපා පොරොව මොට වූ කල්හි බැරිය යි නො නැවතැ පොරොව යළිදු මුවහත් කොට ගෙනැ ගස කපා හෙලයි ද එමෙන් මේ යෝගාවචර ද කෙසේ හෝ ගිය ජාතියෙහි චුතිය පිළිබඳ නාමරූප දක්නේ ය. එසේ දුටු නාම රූප අරමුණු කොට මනොද්වාරාවර්ජනය ඉපිද නිරුද්ධ වූ කල්හි පරිකර්මාදි නාමයෙන් ජවන් සතරක් පසක් දිවෙන්නේ ය. සතර වැනි හෝ පස්වැනි ජවනය රූපාවචර චතුර්ථධ්‍යානික අර්පණා චිත්තය යි. එහි පවත්නා ප්‍රඥාව පූර්වෙනිවාසානුස්මෘති ඥානය යි. ඒ ප්‍රඥායෙන් යුක්ත වූ ස්මෘතියෙන් ජාති එකක් දෙකක් ආදි වශයෙන් ද සංවට්ට කල්පාදි වශයෙන් ද අතීතය සිහි කරන්නේ ය.

දිබ්බචක්ඛු

දෙවියන්ගේ ඇස දිබ්බචක්ඛු ය. සෙම් ආදියෙන් අපළි බුද්ධ බැවින් එයට දුර පවත්නා රූප ද හැපෙන්නේ ය. පර්වතාදියෙන් පවා නිරාවරණ වැ ඈත පවත්නා අරමුණු ද එයට පෙනෙන්නේ ය. භාවනා බලයෙන් නිපදවා ගත් ප්‍රඥා චක්‍ෂුව ඒ දිව්‍ය චක්‍ෂු සමාන බැවින් දිබ්බචක්ඛුය යි කියනු ලැබේ. දිව්‍යචක්‍ෂුරභිඥානය යි. චුතූපපාතඤාණය යනුදු මේ ය. චුතූපපාතඤාණය නම් චුති උප්පත්ති ද දන්නා දක්නා නුවණ ය. ඇතැම්හු චුතිය පමණක් දකිති. උප්පත්තිය නො දකිති. ඔවුහු උච්ඡෙද දෘෂ්ටිකයෝ වෙත්. ඇතැම්හු උප්පත්තිය දකිති. චුතිය නො දකිති. ඔව්හු නව සත්‍ව ප්‍රාදුර්භාවය හෙවත් සත්ත්‍වයෝ අළුතින් උපදිති යන හැඟීම ගනිති. චුතූපපාතඤාණය ඇත්තෝ දිට්ඨිවිසුද්ධිකයෝ ය. මේ දිබ්බචක්ඛුඤාණය විශුද්ධ ය. මනුෂ්‍යත්‍වය ඉක්මැ සිටියේ ය. එයින් චුත වන්නා වූ ද උපදින්නාවූ ද සුගතියට යන්නාවූ ද දුර්ගතියට යන්නා වූ ද සත්ත්‍වයන් දක්නේ ය. ඔවුන් ඒ සුගති දුර්ගති වන කර්මය ද දක්නේ ය. ඉන් මුල් කොටස දිව්‍යචක්‍ෂු කෘත්‍යයට අයත් ය. කර්ම දක්නා කොටස යථා කම්මුපගඤාණ කොටසට අයත් ය.

දිබ්බචක්ඛුඤාණය ලැබැ ගන්නා ආකාරය මෙසේ ය:

දිවැසින් ලොව දක්නා කැමැති ධ්‍යානලාභි ආදි කාර්මිකයා විසින් තේජෝකසිණ, ඔදාතකසිණ, ආලොකකසිණ යන තුන් කසිණ අතුරෙන් එකක් උපචාර ධ්‍යානයට ගෝචර කොටැ වඩා ගත යුතු ය. එහි අර්පණාවට නො පැමිණිය යුතු ය. මේ තුනින් ආලොක කසිණය වඩා යෝග්‍ය යි. එ බැවින් ආලොක කසිණය හෝ අනික් දෙකින් එකක් හෝ කසිණ භාවනා ක්‍රමයෙහි කී සේ උපදවා ගෙන උපචාර භූමියෙහි සිටැ වැඩිය යුතු ය. වඩන ක්‍රමය එහි කියන ලද්දේ ය. ඒ වැඩූ තන්හි ඇතුළත් වූ රූප බැලිය යුතු ය. ඒ රූප බලත් ම ඔහුගේ පරිකර්මවාරය ඉක්මැ යයි. එවිට ආලෝකය ද අන්තර්ධාන වේ. ආලෝකය අන්තර්ධාන වූ කල්හි රූප ද නො පෙනී යයි. එවිට ඔහු විසින් පාදක ධ්‍යානයට සම වැද එයින් නැඟී ආලෝක පැතිරවිය යුතු. ඒ ආලෝකය ක්‍රමයෙන් බලසම්පන්න වන්නේ ය. මෙතෙක් තන්හි ආලෝකය වේවා යි යම් තාක් තැන් පරිච්ඡේද කැරැ ගනී ද ඒ තාක් තන්හි ආලෝකය පවත්නේ ය. දවස මුළුල්ලෙහි වුවද බලත් හොත් රූප පෙනෙන්නේ ය. මිනිසෙක් රෑ ගිනි හුලක් ගෙන ගමනක් යයි, යන අතර ඔහුගේ ගිනි සුල නිවෙයි. ඔහුට කිසිවෙක් නොපෙනී යයි. හෙතෙම ගිනි සුල බිම ගසා නැවත දල්වා ගනියි. එවිට පෙරටත් වඩා ගිනි සුල පත්තු වෙයි. යළි යළි නිවුණු කල්හි එසේ දල්ව දල්වා යත් ම සූර්යයා උදා වෙයි. හේ දැන් ගිනි සුලින් කම් නැතැ යි ඒ ඉවත ලා, සූර්යාලෝකයෙන් යයි. මෙය මුල කී අර්ථයට උපමා වශයෙන් යොදා ගත යුතු යි. යම් කලෙක ඔහුට මසැසට නො පෙනෙන හෘදය වස්තු ගත වූ හෝ භිත්ති ප්‍රාකාර පර්වතවලින් පිටත වූ හෝ සක්වල ගලින් පිටත වූ හෝ රූපය ඥාන චක්‍ෂුවට ආපාතගත වේ ද මසැසට පෙනෙන්නා සේ ම පෙනේ ද එවිට දිව්‍ය චක්‍ෂුව උපන්නේ ය යි කිය යුතු ය. මෙහි දී පෘථග්ජනයෙකුට නම් උපද්‍රවයෙක් පැමිණෙ යි. එ නම් ආලෝකය වැඩූ තැන්හි භයානක වූ යක්‍ෂරාක්‍ෂසාදී අමනුෂ්‍ය රූප පෙනීම යි. ඒ දුටු විට ඔහුට භය උපදිය හැකි ය. භය උපන් විට චිත්තය වික්‍ෂෙප වී ධ්‍යානයෙන් ද පිරිහිය හැකි ය. එබැවින් මෙහිදී පෘථග්ජනයා එසේ නො වන්නට අප්‍රමාද විය යුතු යි.

පඤ්චාභිඥා පිළිබඳ වැ මෙහි දක්වන ලද්දේ සංක්‍ෂෙපය යි. විස්තර විශුද්ධිමාර්ගයෙන් දත යුතු යි.

සමථ කර්මස්ථාන ක්‍රමය යි.

ප්‍රශ්න.

  1. සෘද්ධිවිධඥානය විස්තර කරනු.
  2. දිව්‍යශ්‍රොත්‍රඥානය ලබා ගත හැකි ක්‍රමය දක්වනු.
  3. පරචිත්ත විජානන ඥානය කිමෙක් ද?
  4. පූර්වනිවාසානුස්මෘතිඥානය කෙසේ ලැබිය හැකි ද?
  5. දිව්‍යචක්‍ෂුරභිඥානය කිම?