ත්‍රිපිටකය
6. රතනසුත්තං 6. රතන සූත්‍රය
1
යානීධ භූතානි සමාගතානි, භුම්මානි (භූමානි (ක.)) වා යානි ව අන්තලික්ඛෙ;
සබ්බෙව භූතා සුමනා භවන්තු, අථොපි සක්කච්ච සුණන්තු භාසිතං.
1
“පොළොව උපන් හෝ අහස උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් දැන් මෙහි රැස්වූවෝද ඒ හැම අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මාගේ වචනය සකසා අසත්වා.
2
තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ, මෙත්තං කරොථ මානුසියා පජාය;
දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං, තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා.
2
“භූතයිනි, එබැවින් තෙපි හැමදෙන අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරවු. ඒ යම් මිනිස් කෙනෙක් දහවලුත් රෑත් තොපට පුදපඬුරු ගෙනෙත්ද එබැවින් ඔවුන් නොපමාව රකිවු.
3
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා, සග්ගෙසු වා යං රතනං පණීතං;
න නො සමං අත්ථි තථාගතෙන, ඉදම්පි බුද්ධෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
3
“මේ මිනිස්ලොව හෝ අන් නාග භවනාදී තැනෙක හෝ යම් වස්තුවෙක් ඇද්ද, ස්වර්ගයන්හි හෝ යම් අගනා රත්නයක් ඇද්ද, ඔවුන් අතරෙහි තථාගතයන්ට සමාන රත්නයක් නැත්තේමය. මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
4
ඛයං විරාගං අමතං පණීතං, යදජ්ඣගා සක්‍යමුනී සමාහිතො;
න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චි, ඉදම්පි ධම්මෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
4
“ශාක්‍යමුනි තෙම එකඟ සිත් ඇත්තේ ක්ලෙශයන්ගේ ක්‍ෂයට නිමිතිවූ රාගයෙන් වෙන්වූ ජාති ජරා මරණ නැති උතුම්වූ යම් නුවණක් ලැබුයේද ඒ නිර්වාණ ධර්මයට සමාන කිසි දෙයක් නැත. මේ කරුණින්ද ධර්මය උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
5
යං බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං, සමාධිමානන්තරිකඤ්ඤමාහු;
සමාධිනා තෙන සමො න විජ්ජති, ඉදම්පි ධම්මෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
5
“බුද්ධශ්‍රේෂ්ඨතෙම අත්‍යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
6
යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා, චත්තාරි එතානි යුගානි හොන්ති;
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා, එතෙසු දින්නානි මහප්ඵලානි;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
6
“සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, ඔව්හු යුග සතරෙකි. සුගත් බුදුන්ගේ ශ්‍රාවකවූ ඔව්හු කම්පල අදහා දෙන දේ පිළිගැනීමට සුදුස්සෝය. ඔවුනට දුන්දේ මහත්ඵලය. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යයෙන් සෙත්වේවා.!
7
යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන, නික්කාමිනො ගොතමසාසනම්හි;
තෙ පත්තිපත්තා අමතං විගය්හ, ලද්ධා මුධා නිබ්බුතිං (නිබ්බුති (ක.)) භුඤ්ජමානා;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
7
“ගෞතම බුදුන්ගේ සස්නෙහිවූ යම් ආර්ය ශ්‍රාවක කෙනෙක් ශීලයෙහි මොනොවට යෙදුනේද, ස්ථිර සිතින් යුක්තවූවෝද, සියලු කෙලෙසුන්ගෙන් නික්මුණේද, ඔව්හු නිවණට බැසගෙන නිවීම ඉබේම ලබාගෙන විඳින්නෝ පැමිණියයුතු දහමට පැමිණියාහුය. මේ කාරණයෙන් ද ආර්ය සංඝ රත්නය උතුම් රත්න වේ. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.!
8
යථින්දඛීලො පථවිස්සිතො (පඨවිස්සිතො (ක. සී.), පථවිංසිතො (ක. සි. ස්‍යා. කං. පී.)) සියා, චතුබ්භි වාතෙහි අසම්පකම්පියො;
තථූපමං සප්පුරිසං වදාමි, යො අරියසච්චානි අවෙච්ච පස්සති;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
8
“පොළොව බැස සිටි නුවර දොර සවිවන කනුව සිවුදිගින් හමන සුළඟින් යම්සේ නොසෙල්විය හැකිද ආර්ය සත්‍යයන් යමෙක් නුවණින් බැසගෙන දක්නේ නම් ඒ සත්පුරුෂයා එවැනිකොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයි. මෙ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
9
යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි;
කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා, න තෙ භවං අට්ඨමමාදියන්ති;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
9
“ගැඹුරු නුවණ ඇති බුදුරජුන් විසින් මැනවින් දක්වන ලද ආර්ය සත්‍යයන් යම්කෙනෙක් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔව්හු කිසිසේත් බෙහෙවින් පමාවූවෝද අටවන අත්බවක් නම් නොගනිත්. මේ කරුණින්ද ආර්ය සංඝයා රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!
10
සහාවස්ස දස්සනසම්පදාය (සහාවසද්දස්සනසම්පදාය (ක.)), තයස්සු ධම්මා ජහිතා භවන්ති;
සක්කායදිට්ඨී විචිකිච්ඡිතඤ්ච, සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි.
10
“ඔහුගේ පළමුවන නිවන් දැක්ම සමගම සක්කාය දෘෂ්ටියද සැකයද යම්කිසි මිථ්‍යා ශීල ව්‍රත කෙනෙක් ඇත්නම් එහැමද යන තුන් සංයෝජනයෝ ඔහු විසින් හරණ ලද්දෝ වෙත්.
11
චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි (ඡ චාභිඨානානි (සී. ස්‍යා.)) අභබ්බ කාතුං (අභබ්බො කාතුං (සී.));
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
11
හේ අපාය සතරින් මිදුනේද වේ. ආනන්තර්ය කර්ම පස හා මිසදිටු ගැන්ම යන බර පව් සය කරන්නටද නොහැක්කේය. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!
12
කිඤ්චාපි සො කම්ම (කම්මං (සී. ස්‍යා. කං. පී.)) කරොති පාපකං, කායෙන වාචා උද චෙතසා වා;
අභබ්බ (අභබ්බො (බහූසු)) සො තස්ස පටිච්ඡදාය (පටිච්ඡාදාය (සී.)), අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
12
“ඒ සෝවාන් පුද්ගලතෙම කිසි පමාවෙකින් කයින් හෝ වචනින් හෝ සිතින් හෝ පව්කමක් කරන්නේද, හේ සඟවා ලීමට නොහැක්කේය. නිවන් දුටුවහු වරද සඟවාලීම නොහැක්කක් බව වදාරණ ලදී. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
13
වනප්පගුම්බෙ යථ (යථා (සී. ස්‍යා.)) ඵුස්සිතග්ගෙ, ගිම්හානමාසෙ පඨමස්මිං (පඨමස්මි (?)) ගිම්හෙ;
තථූපමං ධම්මවරං අදෙසයි (අදෙසයී (සී.)), නිබ්බානගාමිං පරමං හිතාය;
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
13
“වනෙහි වැඩුණු ගස් රැස ග්‍රීෂ්ම සෘතුවෙහි පළමුවන ග්‍රීෂ්ම මාසයෙහි යම්සේ පිපුණු අක් ඇතියේද එබඳුවූ නිවන් පමුණුවන උතුම් පර්යාප්ති ධර්මයක් පරමහිතය පිණිස වදාළේය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
14
වරො වරඤ්ඤූ වරදො වරාහරො, අනුත්තරො ධම්මවරං අදෙසයි;
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
14
“උතුම්වූ නිවන් දන්නාවූ නිවන් දෙන්නාවූ නිවන් මග ගෙනහැර පාන්නාවූ නිරුත්තර බුදුරජතෙම උතුම් දහමක් දෙසීය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
15
ඛීණං පුරාණං නව නත්ථි සම්භවං, විරත්තචිත්තායතිකෙ භවස්මිං;
තෙ ඛීණබීජා අවිරූළ්හිඡන්දා, නිබ්බන්ති ධීරා යථායං (යථයං (ක.)) පදීපො;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
15
“යම් කෙනෙකුන්ගේ පුරාණ කර්ම ගෙවීගියේද, අළුත් කර්ම පහළවීමෙකුත් නැද්ද, අනාගත භවයෙහි නොඇලුණු සිතැති ක්‍ෂයකළ ප්‍රතිසන්ධි විඥාන බීජ ඇති පැනනැගීමෙහි ඡන්දය නැති ධෛර්‍ය්‍යය සම්පන්නවූ ඒ රහත්හු මේ පහනසේ පිරිනිවෙත්. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
16
යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, බුද්ධං නමස්සාම සුවත්ථි හොතු.
16
“(සක්දෙව් රජ) පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් වඳිමු. සත්නට සෙත්වේවා.
17
යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, ධම්මං නමස්සාම සුවත්ථි හොතු.
17
“පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්මය වඳිමු. සත්නට සෙත්වේවා.
18
යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූති.
18
“පොළොව උපන්නාවූද අහස උපන්නාවූද යම් භූත කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත සංඝයා වඳිමු. සත්නට සෙත්වේවා.”