6. 2. 1. 9.
9. නිබ්බෙධික පරියාය සූත්‍රය
[සැවැත් නුවර දී ය]
63. “මහණෙනි, යුෂ්මතුන්ට තියුණු අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුවන ධර්ම ක්‍රමය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට සිහි කරව්. දේශනා කරන්නෙමි” “එසේය, ස්වාමීනි.” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, තියුණු අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුවන ඒ ධර්ම ක්‍රමය කවරේද?
“මහණෙනි, කාමය දතයුතුය. කාමය ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුයි. කාමයන්ගේ විපාකය දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ ප්‍රතිපදාව දත යුතුය.
“මහණෙනි, වේදනාව දතයුතුය. වේදනාව ඇතිවීමේ හේතුව දතයුතුය. වේදනාවන්ගේ වෙනස දතයුතුය. වේදනාවගේ විපාකය දතයුතුය. වේදනාවන් නැතිවීම දත යුතුය. වේදනාවන් නැතිකිරිමට ගමන් කරණ ප්‍රතිපදාව දත යුතුය.
“මහණෙනි, සංඥාව දතයුතුය. සංඥාව ඇතිවීමේ හේතුව දතයුතුය. සංඥාවන්ගේ වෙනස දතයුතුය. සංඥාවන්ගේ විපාකය දතයුතුය. සංඥාවන් නැතිවීම දත යුතුය. සංඥාවන් නැතිකිරිමට ගමන් කරණ ප්‍රතිපදාව දත යුතුය.
“මහණෙනි, ආශ්‍රවයන් දතයුතුය. ආශ්‍රවයන් ඇතිවීමේ හේතුව දතයුතුය. ආශ්‍රවයන්ගේ වෙනස දතයුතුය. ආශ්‍රවයන්ගේ විපාකය දතයුතුය. ආශ්‍රවයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. ආශ්‍රවයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.
“මහණෙනි, කර්මය දතයුතුය. කර්මයන් ඇතිවීමේ හේතුව දතයුතුය. කර්මයන්ගේ වෙනස දතයුතුය. කර්මයන්ගේ විපාකය දතයුතුය. කර්මයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කර්මයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.
“මහණෙනි, දුක දතයුතුය. දුක ඇතිවීමේ හේතුව දතයුතුය. දුකෙහි වෙනස දතයුතුය. දුකෙහි විපාකය දතයුතුය. දුක නැතිවීම හෝ නැති තැන දත යුතුය. දුක නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.
(1) “මහණෙනි, කාමයෝ දතයුතුය. කාමයන් ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුය. කාමයන්ගේ විපාකය දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.” යි මෙසේ දේශනා කරණ ලදී. මෙය කුමක් නිසා දේශනා කරණ ලද්දේද?
මහණෙනි, කාම ගුණයෝ පසක් වෙති. යහපත්වූ, ප්‍රියවූ, සිත් අලවන්නාවූ, මනා දැකුම් ඇති, මනා රූ ඇති, කාමයන් ඇතිකරවන්නාවූ, ඇසින් හැඳින ගන්නා රූපයෝද, කණින් හැඳිනගන්නා ශබ්දයෝද, නාසයෙන් හැඳිනගන්නාවූ සුවඳද. දිවෙන් හැඳිනගන්නාවූ රසයෝද, කයින් හැඳිනගන්නාවූ ස්පර්‍ශයෝද වෙති. එසේ නමුදු මේ කාමයෝ නොවෙති. මොවුහු කාම ගුණයෝයි ආර්‍ය්‍ය විනයෙහි කියත්.
“පුරුෂයාගේ කල්පනා වශයෙන් උපන්නාවූ රාගය තෙම කාම නම් වේ.
ලෝකයෙහි යම් විසිතුරු අරමුණු ඇද්ද, මොවුහු කාමයෝ නොවෙත්,
පුරුෂයාගේ කල්පනා වශයෙන් උපන්නාවූ රාගය තෙම කාම නම් වේ
ලෝකයෙහි එසේම විසිතුරු අරමුණු ඇත්තාහ,
එසේ වුවත් මේ ලෝකයෙහි නුවණැත්තෝ කාමාශාව දුරු කරත්. හික්මවත්.”
ලෝකයෙහි යම් විසිතුරු අරමුණු ඇද්ද, මොවුහු කාමයෝ නොවෙත්,
පුරුෂයාගේ කල්පනා වශයෙන් උපන්නාවූ රාගය තෙම කාම නම් වේ
ලෝකයෙහි එසේම විසිතුරු අරමුණු ඇත්තාහ,
එසේ වුවත් මේ ලෝකයෙහි නුවණැත්තෝ කාමාශාව දුරු කරත්. හික්මවත්.”
“මහණෙනි, කාමයන්ගේ නිදාන (මුල් කාරණය) ඇතිවීම කෙසේද? ස්පර්‍ශය මහණෙනි, කාමයන්ගේ නිදාන ඇතිවීමයි.
“මහණෙනි, කාමයන්ගේ වෙනස කෙසේද? මහණෙනි, රූපය කාමයෙහි අන්‍යය. ශබ්දයෙහි කාමය අන්‍යය. ගඳ සුවඳෙහි කාමය අන්‍යය. රසයෙහි කාමය අන්‍යය. ස්පර්‍ශයෙහි කාමය අන්‍යය. මහණෙනි, මේ වනාහි කාමයන්ගේ වෙනස් බවයි.
“මහණෙනි, කාමයන්ගේ විපාකය කවරේද? මහණෙනි, යමක් කැමතිවනු ලබන්නේ, පින් පක්‍ෂයෙහිවූ හෝ, පව් පක්‍ෂයෙහිවූ හෝ, එයින් උපදනා ආත්ම භාවය උපදවයි. මහණෙනි, කාමයන්ගේ විපාකය මේ යයි කියනු ලැබේ.
“මහණෙනි, කාමයන්ගේ නැතිකිරීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය නැතිකිරීම කාමය නැතිකිරීම වේ.
මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. කාමය නැතිකිරීමේ පිළිවෙතයි. ඒ කෙසේදයත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි.
“මහණෙනි, යම් විටක මෙයින් වනාහි ආර්යශ්‍රාවකතෙම මෙසේ කාමයන් මනාව දනීද, මෙසේ කාමයන්ගේ නිදාන ඇතිවීම දනීද, මෙසේ කාමයන්ගේ වෙනස් බව මනාව දනීද. මෙසේ කාමයන්ගේ විපාකය දනීද, මෙසේ කාමයන් නැතිකිරීම දනීද, මෙසේ කාමයන්ගේ නැතිකිරීමට යවන පිළිවෙත දනීද. හෙතෙම මේ කාමයන් නැති කිරීමවූ, තියුණු අවබෝධය වූ, බඹසර දනී.
”කාමා මහණෙනි වෙදිත්තබ්බා -පෙ- කමනීරොධගාමිනීපටිපදා වෙදිතබ්බා”ති යි යමක් කියන ලද්දේ ද, මෙය ඒ සඳහා කියන ලදී.