10. 1. 8.
කාය ජීවිත පරියන්තික සූත්‍රය
3756. සැවැත් නුවරදීය.
මහණෙනි, ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ, කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය (හැරදැමීම) අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල කරන ලද්දේ ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වෙයි. මහණෙනි, මම ද සම්බෝධියට පෙර බුදු නොවූ බෝසතුන්ව සිටියදීම මේ විහරණයෙන් බහුල වශයෙන් වාසය කළෙමි. මහණෙනි, මේ විහරණයෙන් බහුල වශයෙන් වාසය කරන මාගේ කය ක්ලාන්ත නොවීය; ඇස් ද ක්ලාන්ත නොවීය. මාගේ සිත ද උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුණේය.
“මහණෙනි, එසේ නම් භික්ෂුවද ‘මාගේ ශරීරය ක්ලාන්ත නොවන්නේය. ඇස්ද ක්ලාන්ත නොවන්නේය. මගේ සිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙන්නේයයි’ කැමැති වන්නේ නම් මේ ආනාපානසති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි. “මහණෙනි, එසේනම් භික්ෂුවද යම් ඒ පඤ්චකාම නිශ්‍රීතවූ විතර්කයෝ වෙත්ද, ඔවුන් ප්‍රහීණ කිරීමට කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි. මහණෙනි, එහෙයින් භික්ෂුවද නොපිළිකුලෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි. “මහණෙනි, එහෙයින් භික්ෂුවද පිළිකුලෙහි නොපිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළයුතුයි. මහණෙනි, එහෙයින් භික්ෂුව නොපිළිකුලෙහිද පිළිකුලෙහිද පිළිකුලෙහිද පිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමතිවේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට වැඩිය යුතුයි “මහණෙනි, එහෙයින් භික්ෂුව පිළිකුලෙහිද නොපිළිකුලෙහිද නොපිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි. “මහණෙනි, එහෙයින් භික්ෂුව නොපිළිකුලද පිළිකුලද යන දෙකම මනාකොට දුරුකොට මධ්‍යස්ථව සිහියෙන් යුක්තව මනා නුවණැතිව වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.
“මහණෙනි, එහෙයින්ම භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුවය ඇති පඨමධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුය. “මහණෙනි, එහෙයින් භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතෙහි එකඟ බැව් ඇති විතර්කය නැති විචාරය නැති විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුය. “මහණෙනි, එහෙයින්ම භික්ෂුව ප්‍රීතියෙහිද නොඇලීමෙන් මධ්‍යස්ථවද වාසය කරන්නේද? සිහියෙන් යුක්තව මනා නුවණ ඇතිව වාසය කයින් විඳියිද? “මධ්‍යස්ථව සිහියෙන් යුක්තව සැපසේ වාසය කරන්නේයයි” ආර්‍ය්‍යයෝ යමක් කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපානසතිසමාධියම වැඩිය යුතුයි. “මහණෙනි, එහෙයින්ම භික්ෂුව සැපයාගේද දුක්ඛයාගේද ප්‍රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සතියෙන් පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.