1. 2. 1. 6.
6. සම්බුද්ධ සූත්‍රය
58. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, රූපයාගේ කලකිරීමෙන් නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩිසේ නොගැනීමෙන් මිදුණාවූ, අර්හත් සම්බුද්ධතෙමේ සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ. “මහණෙනි, රූපයාගේ කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන්, තෘෂ්ණාදීන් දැඩි වශයෙන් නොගැනීමෙන් ප්‍රඥාව කරණකොට මිදුණාවූ භික්ෂුතෙමේ පඤ්ඤාවිමුත්තයයි කියනු ලැබේ.
මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වේදනාව කෙරෙහි -පෙ- සංඥාව කෙරෙහි -පෙ- සංස්කාර කෙරෙහි -පෙ- විඥානය කෙරෙහි කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරුද්ධ කිරීමෙන්, (තෘෂ්ණාදියෙන්) දැඩිව නොගෙන මිදුණු සේක් ‘සම්මාසම්බුද්ධ’ යැයි කියනු ලබන සේක. මහණෙනි, ප්‍රඥාවෙන් මිදුණු (පඤ්ඤාවිමුත්ත) භික්ෂුව ද විඥානය කෙරෙහි කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරුද්ධ කිරීමෙන්, දැඩිව නොගෙන මිදුණේ ‘පඤ්ඤාවිමුත්ත’ යැයි කියනු ලැබේ.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන්ගේ පඤ්ඤාවිමුත්ත භික්ෂුවගේ කවර නම් විශේෂයෙක්ද, කවර නම් අදහසක්ද, කවර නම් වෙනසක්ද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධානකොට ඇත්තාහ. ස්වාමීනි, මේ වචනයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක් නම් ඉතා මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු ධරාගන්නාහයි” කීහ.
“මහණෙනි, එසේ නම් මනාකොට අසව්. මනාකොට සිත්හි ධරාගනිව්. කියන්නෙමියි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “ස්වාමීනි, එසේයයි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ නූපන් මාර්ගය උපදවන්නේ වෙයි. පහළ නොවූ මාර්ගය පහළකරන්නේ වෙයි. නොකී මාර්ගය කියන්නේ වෙයි. මාර්ගය දන්නේ වෙයි. මාර්ගය අවබෝධ කරන්නේ වෙයි. දක්ෂ වූයේ වෙයි. මහණෙනි, දැන් ශ්‍රාවකයෝ මාර්ගයට අනුව යමින් පසුව මාර්ග අනුගමනය කරන්නෝව වෙසෙත්.
මහණෙනි, මේ වනාහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ගේ හා පඤ්ඤාවිමුත්ත භික්ෂුවගේ විශේෂයයි, අදහසයයි, වෙනසයයි” වදාළේය.
1. 2. 1. 7.
7. පඤ්චවග්ග සූත්‍රය
59. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා පස්වග භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, රූපය අනාත්මය, මහණෙනි, ඉදින් වනාහි මේ රූපය ආත්මය වූයේනම් මේ රූපය ආබාධ පිණිස නොපවත්නේය. මගේ රූපය මෙසේ වේවා, ‘මගේ රූපය මෙසේ නොවේවායි’ කියා රූපයෙහි කැමති ආකාරයක්ද ලබන්නේය. “මහණෙනි, යම්හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවයි’ කියා රූපයෙහි කැමැති ආකාරයක්ද නොලැබෙන්නේය.
මහණෙනි, වේදනාව අනාත්මය. -පෙ- මහණෙනි, සංඥාව අනාත්මය. -පෙ- මහණෙනි, සංස්කාර අනාත්මය. -පෙ- මහණෙනි, විඥානය අනාත්මය. මහණෙනි, මේ විඥානය ආත්මය වූයේ නම්, මේ විඥානය ආබාධ පිණිස නොපවතින්නේය. විඥානය කෙරෙහි “මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නොවේවා” යි (කැමති සේ පැවැත්වීමක්) ලැබෙන්නේය. මහණෙනි, යම් හෙයකින් විඥානය අනාත්ම ද, එහෙයින් විඥානය ආබාධ පිණිස පවතියි. විඥානය කෙරෙහි “මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නොවේවා” යි (කැමති සේ පැවැත්වීමක්) නොලැබෙයි.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,”
“යමක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුලුද, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඥානය නිත්‍ය ද, අනිත්‍ය ද? ස්වාමීනි, අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම්, එය දුක ද, සැප ද? ස්වාමීනි, දුකයි.
යමක් අනිත්‍ය ද, දුක ද, වෙනස් වන ස්වභාව ඇත්තේ ද, එය ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දැකීම සුදුසු ද? ස්වාමීනි, එය එසේ නොවේමය.
මහණෙනි, එහෙයින් මෙහි අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, තමා තුළ (අධ්‍යාත්මික) වූ හෝ බාහිර වූ හෝ, ගොරෝසු (ඕළාරික) වූ හෝ සියුම් වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි රූපයක් වේ ද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යි මෙසේ ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැකිය යුතුයි.
යම් කිසි වේදනාවක් -පෙ- යම් කිසි සංඥාවක් -පෙ- යම් කිසි සංස්කාර කෙනෙක් -පෙ- අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, තමා තුළ (අධ්‍යාත්මික) වූ හෝ බාහිර වූ හෝ, ගොරෝසු (ඕළාරික) වූ හෝ සියුම් වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි විඥානයක් වේ ද, ඒ සියලු විඥානය ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යි මෙසේ ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැකිය යුතුයි.