1. 3. 6.
උපවාණ සූත්රය
26. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති ඇවැත් “උපවාණ’ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි දුක තමා විසින් කරන ලද්දේයයි පණවන ඇතැම් මහණ බමුණෝ වෙති. ස්වාමීනි, දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි; දුක තමන් විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි, දුක තමන් විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවන මහණ බමුණෝ වෙති.
ස්වාමීනි, මෙහිදී අපේ භාග්යවතුන් වහන්සේ කිනම් වාද ඇතිසේක්ද? කුමක් කියන සේක්ද? කෙසේ පැහැදිළි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නෝ නොවෙමුද; ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිලි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ වාද ප්රවෘත්තියක් (වාදානුපාතයක්) හැරගිය යුතු බවට නොපැමිණෙන්නේද, කියායි.”
“උපවාණය, දුක වනාහි පටිච්චසමුප්පන්නයයි (නිසා උපන්නේයයි) මා විසින් කියන ලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ මා කියන ලද්ද අනුව කියන්නේද වන්නේය. මා බොරුවෙන් යටකොට නොකියන්නේද වන්නේය. ධර්මානුකූලව ධර්මය පැහැදිළි කරන්නේය. කිසි ධාර්මිකවූ වාද ප්රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරැහිය යුතු බවට නොපැමිණෙන්නේය.
“උපවාණය, එහිදී යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇති වෙයි.
“උපවාණය, මෙහිදී යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරණ ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ.”
1. 3. 7.
පච්චය සූත්රය
27. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
මහණෙනි, ජරාමරණය කවරේද? ඒ ඒ සත්වනිකායෙහිවූ, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළි වැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ. ඒ ඒ සත්ව නිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මච්චු නම් මරණයක්, කාලක්රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීර අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. ඒ දිරීමද, මේ මැරීමද මෙසේයි. මහණෙනි මෙය ජරාමරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරා මරණය ඇතිවේ. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා මරණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරාමරණය නැතිකරන මාර්ගයයි. හේ කවරේද? සම්මා දිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සති සහ සම්මා සමාධිය.
“මහණෙනි, ඉපදීම කවරේද? ඒ ඒ සත්ත්ව නිකායෙහි ඒ ඒ සත්ත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැසගැනීමක් ඉපදීමක්, සත්ත්වයින්ගේ ඇතිවීමක් ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ. (කර්ම) භවය ඇතිවීමෙන් ඉපදීම ඇතිවේ. (කර්ම) භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඉපදීම නැතිකරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධියයි.
මහණෙනි, භවය කවරේ ද? -පෙ- මහණෙනි, උපාදානය කවරේ ද? -පෙ- මහණෙනි, තණ්හාව කවරේ ද? -පෙ- මහණෙනි, වේදනාව කවරේ ද? -පෙ- මහණෙනි, ස්පර්ශය කවරේ ද? -පෙ- මහණෙනි, සළායතනය කවරේ ද? -පෙ- මහණෙනි, නාමරූපය කවරේ ද? -පෙ- මහණෙනි, විඤ්ඤාණය කවරේ ද? -පෙ- මහණෙනි, සංස්කාර කවරහු ද? මහණෙනි, මේ සංස්කාර තුනකි: කාය සංස්කාරය, වචී සංස්කාරය, චිත්ත සංස්කාරය. මහණෙනි, මොවුහු සංස්කාරයෝ යැයි කියනු ලැබෙති. අවිජ්ජාව ඇති වීමෙන් සංස්කාර ඇති වේ. අවිජ්ජාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාර නිරුද්ධ වීමට යන ප්රතිපදාවයි. එනම්: සම්මාදිට්ඨිය -පෙ- සම්මාසමාධියයි.
“මහණෙනි, යම් හේතුවකින් ආර්ය ශ්රාවක තෙම මෙසේ (දුක්ඛසත්යය වශයෙන්) ප්රත්යය දනීද, මෙසේ (සමුදය සත්යය වශයෙන්) ප්රත්යය ඇතිවීම දනීද, මෙසේ (නිරෝධ සත්යය වශයෙන්) ප්රත්යය නැතිවීම දනීද, මෙසේ (මාර්ග සත්යය වශයෙන්) ප්රත්යය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්රාවක තෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත යයි කියාද මාර්ග දර්ශනයෙන් යුක්තයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම්වූ ධර්මශ්රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.”