1. 3. 1.
දසබල සූත්‍රය
21. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, දසබලයකින් යුක්තවූද, සිව් වැදෑරුම් විශාරද භාවයකින් යුක්තවූද, තථාගතතෙම ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිසෙහි සිංහනාද කෙරෙයි. උතුම්වූ ධර්මචක්රය පවත්වයි. (කෙසේද?) මේ රූපයය, මේ රූපයාගේ හේතුවය, මේ රූපයාගේ නැතිවීමය. මේ වේදනාවය, මේ වේදනාවේ හේතුවය, මේ වේදනාවගේ නැතිවීමය. මේ සංඥාවය, මේ සංඥාවගේ හේතුවය, මේ සංඥාවගේ නැතිවීමය. මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නැතිවීමය. මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ නැතිවීමය. මෙසේ මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන් ඇති කල්හි, මේ සංස්කාරාදී ඵලය ඇතිවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ ඉපදීමෙන් සංස්කාරාදී ඵල උපදී. මේ අවිජ්ජාදී ප්‍රත්‍යය නැති කල්හි සංස්කාරාදී ඵල ඇති නොවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් මේ සංස්කාරාදී ඵල නැතිවේ.
එනම්: අවිජ්ජාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ ඇති වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ඇති වේ. -පෙ- මෙසේ මේ මුළු දුක් රැසේ හටගැනීම වේ. අවිජ්ජාවේම ඉතිරි නැති විරාගයෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ. -පෙ- මෙසේ මේ මුළු දුක් රැසේ නිරුද්ධ වීම වේ යනුයි.
1. 3. 2.
දසබල සූත්‍රය
22. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, දසබලයකින් යුක්තවූද, සිව් වැදෑරුම් විශාරදභාවයකින් යුක්තවූද තථාගතතෙම ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිසෙහි සිංහනාද කෙරෙයි. උතුම්වූ ධර්මචක්රය පවත්වයි. (කෙසේද?) මේ රූපය, මේ රූපයන්ගේ හේතුවය, මේ රූපයන්ගේ නැතිවීමය. මේ වේදනාවය, මේ වේදනාවේ හේතුවය, මේ වේදනාවගේ නැතිවීමය. මේ සංඥාවය, මේ සංඥාවගේ හේතුවය, මේ සංඥාවගේ නැතිවීමය. මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නැතිවීමය. මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ නැතිවීමය. මෙසේ මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන් ඇතිකල්හි, මේ සංස්කාරාදී ඵලය ඇතිවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ ඉපදීමෙන් සංස්කාරාදී ඵල උපදී. මේ අවිජ්ජාදී ප්‍රත්‍යය නැතිකල්හි සංස්කාරාදී ඵල ඇති නොවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් මේ සංස්කාරාදී ඵල නැතිවේ.
එනම්: අවිජ්ජාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ ඇති වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ඇති වේ. -පෙ- මෙසේ මේ මුළු දුක් රැසේ හටගැනීම වේ. අවිජ්ජාවේම ඉතිරි නැති විරාගයෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ. -පෙ- මෙසේ මේ මුළු දුක් රැසේ නිරුද්ධ වීම වේ.
“මහණෙනි, මා විසින් මෙසේ ධර්මය මනාකොට කියනලදී. වසා නොතබනලදී. වැසුම් හරිනලදී. දල්වන ලදී. සුන්-බුන්-පිරිද්දීම් සහ ගැට නැතිකරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් මනාකොට කියනලද, වසා නොතබනලද, වැසුම් හරිනලද, දල්වනලද, සුන්-බුන්-පිරිද්දීම් සහ ගැට නැතිකරනලද ධර්මයෙහි, ශ්‍රද්ධාවෙන් (ශාසනයෙහි) පැවිදිවූ කුල දරුවා විසින් කැමැති සේ ශරීරයෙහි සමද, නහරද, ඇටද, ඉතිරි වේවා! මස් හා ලේ වියලේවා! පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු යමක් වේද, එයට නොපැමිණ, වීර්යය අත්හැරීමක් නොවන්නේ යයි වීර්යය පටන් ගැනීම සුදුසුමය.
මහණෙනි, කුසීත පුද්ගලතෙම පවිටුවූ, අකුශල ධර්මයන්ගෙන් ගැවසී ගත්තේ දුකින් වසයි. මහත්වූ අර්ථයෙන්ද (රහත් බැවින්ද) පිරිහෙයි. මහණෙනි, පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ වනාහි පවිටුවූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූයේ සැපසේ වාසය කෙරෙයි. මහත්වූ, අර්ථයද (රහත් බවද) සම්පූර්ණ කෙරෙයි.
“මහණෙනි, හීනවූ ශ්‍රද්ධාදියෙන් අග්‍රවූ රහත් බවට නොපැමිණෙයි. අග්‍රවූ ශ්‍රද්ධාදියෙන් අග්‍රවූ රහත් බවට පැමිණෙයි. මහණෙනි, ප්‍රසන්නවූද, පිදියයුතුවූද, මේ බ්‍රහ්මචරියාව ශාස්තෲන්වහන්සේගේ සම්මුඛයෙහි වූයේය. “මහණෙනි, ඒ නිසා නොපැමිණි ධර්මයන්ට පැමිණීම පිණිස, අවබෝධ නොකළ ධර්මය අවබෝධ කිරීම පිණිස ප්රත්යක්ෂ නොකළ ධර්මය ප්රත්යක්ෂකිරීම පිණිස, වීර්ය ආරම්භ කරව්. මෙසේ (වනාහි) අපගේ මේ පැවිද්ද වඳනොවන්නේය. ඵල සහිත වන්නේය. වැඩීම් සහිත වන්නේය. අපි යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පසය සහ බෙහෙත් පිරිකර වළඳමුද, ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප කෙරෙහි මහත්ඵල මහානිසංශ වන්නෝය. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි. මහණෙනි, තමාගේ අර්ථය බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්තවන්නට සුදුසුමය. මහණෙනි, පරාර්ථය බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්ත වන්නට සුදුසුමය. මහණෙනි, උභයාර්ථය (ආත්මාර්ථය හා පරාර්ථය) බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්ත වන්නට සුදුසුමය යනුයි.
1. 3. 3.
උපනිසා සූත්‍රය
23. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම දන්නහුගේම දක්නහුගේම ආශ්‍රවයන් ක්ෂයකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂයවේද? රූපය මෙසේය. රූපයේ ඇතිවීම මෙසේය. රූපයාගේ නැතිවීම මෙසේය. වේදනාව මෙසේය. වේදනාවේ ඇතිවීම මෙසේය. වේදනාවේ නැතිවීම මෙසේය. සංඥාව මෙසේය. සංඥාවේ ඇතිවීම මෙසේය. සංඥාවේ නැතිවීම මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණයේ ඇතිවීම මෙසේය. විඤ්ඤාණයේ නැතිවීම මෙසේය. කියායි. මහණෙනි, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.