පාරාජිකා ආදී ඇවැත්
1. පාරාජික යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: (ඒ භික්ෂුව) සද්ධර්මයෙන් (ශාසනයෙන්) චුත වූයේ ද, පැරදුණේ ද, ගිලිහුණේ ද, ඉවත් කරන ලද්දේ ද වෙයි. ඔහු සමඟ (උපෝසථ, පවාරණා ආදියෙන්) එක්ව විසීමක් ද නැත. එහෙයින් මෙය පාරාජික යැයි කියනු ලැබේ.
2. සංඝාදිසේස යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: සංඝයා ම පරිවාසය දෙයි. මූලායපටිකස්සන කර්මය (නැවත මුල සිට පරිවාසය පටන් ගැන්වීම) කරයි. මානත්තය දෙයි. අබ්භාන කර්මය (ඇවැතින් නැගිටුවා නැවත සංඝයාට ඇතුළත් කර ගැනීම) කරයි. (මුල, මැද, අග යන තැන් තුනේ ම සංඝයා අවශ්‍ය වේ යන) ඒ අර්ථයෙන් මේ ඇවැත සංඝාදිසේස යැයි කියනු ලැබේ.
3. අනියත යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: නියත නොවූයේ අනියත නම් වේ. මෙය (එක් ඇවැතකට ම) නියම නොකරන ලද ශික්ෂාපදයකි. (පාරාජිකා, සංඝාදිසේස, පාචිත්තිය යන) ඇවැත් තුනෙන් එක්තරා ඇවැතකට පැමිණේ. එහෙයින් අනියත යැයි කියනු ලැබේ.
4. ථුල්ලච්චය යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: යමෙක් එක් භික්ෂුවක් ඉදිරියේ ඇවැත දේශනා කරයි ද, යමෙක් ද එය පිළිගනී ද, (දේශනා කිරීමෙන් පිරිසිදු විය හැකි අනෙක්) ඇවැත් අතර එයට සමාන (එතරම් ලොකු) ඇවැතක් නැත. එහෙයින් මෙය ථුල්ලච්චය (ලොකු වරද) යැයි කියනු ලැබේ.
5. නිස්සග්ගිය යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: සංඝයා මැද හෝ ගණයා (භික්ෂූන් කිහිප දෙනකු) මැද හෝ එක් භික්ෂුවක් ඉදිරියේ හෝ (ඒ වස්තුව) අත්හැර ඇවැත දේශනා කරයි. එහෙයින් මෙය නිස්සග්ගිය යැයි කියනු ලැබේ.
6. පාචිත්තිය යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: (මෙය) කුසල සිත හෙළයි, ආර්ය මාර්ගය වරදවයි, සිත මුළා කිරීමට හේතු වෙයි. එහෙයින් මෙය පාචිත්තිය යැයි කියනු ලැබේ.
7. පාටිදේසනීය යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: භික්ෂුවක් නෑදෑයකු නොවූයේ, දුකසේ ලැබූ තැනැත්තියකගේ (භික්ෂුණියකගේ) බොජුනක් තමා ම ගෙන වළඳයි නම්, එය ගැරහිය යුතු යැයි කියනු ලැබේ.
8. ආරාධනාවලදී වළඳන භික්ෂුවකට එහිදී භික්ෂුණියක් කැමැත්තෙන් (“මෙහි බත් දෙන්න” ආදී ලෙස) පිළිවෙළ කියා දෙයි නම්, එහිදී (“නැගණිය, ඉවත් වන්න” ආදී ලෙස) ඇය නොවළක්වා වළඳයි නම්, එය ගැරහිය යුතු යැයි කියනු ලැබේ.
9. සම්පත් ස්වල්පයක් ඇති, නැළියකට වඩා වී නැති, දිළිඳු වූ, සැදැහැ සිත් ඇති සේඛ (මාර්ගඵල ලැබූ ආර්යයන් සිටින) කුලයකට ගොස්, ගිලන් නොවී එහි වළඳයි නම්, එය ගැරහිය යුතු යැයි කියනු ලැබේ.
10. යම් භික්ෂුවක් සැක සහිත, බිය සහිත වනයක වසන්නේ, එහිදී කලින් නොදන්වන ලද භෝජනයක් වළඳයි නම්, එය ගැරහිය යුතු යැයි කියනු ලැබේ.
11. නෑදෑ නොවූ භික්ෂුණියක් අනුන් තමන්ගේ යැයි සලකන ගිතෙල්, තෙල්, මී, පැණි, මාළු, මස්, කිරි, දී තමා ම ඉල්ලා පරිභෝග කරයි නම්, ඒ භික්ෂුණිය බුදු සසුනෙහි ගැරහිය යුතු බවට පැමිණියා වෙයි.
12. දුක්කට යැයි යමක් වදාරන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: නරක ලෙස කරන ලද්දක්, වරදවා කරන ලද්දක්, පමා වීමෙන් වූ දොසක් යන යම් (එබඳු) දුෂ්කෘතයක් (නරක ක්‍රියාවක්) වේ ද,
13. මිනිසා එළිපිට හෝ රහසිගතව හෝ යම් පවක් කරයි ද, (එය) දුක්කට යැයි (නුවණැත්තෝ) පවසති. එහෙයින් මෙය දුක්කට යැයි කියනු ලැබේ.
14. දුබ්භාසිත යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: නරක ලෙස කියන ලද, නරක ලෙස පවසන ලද, කිලිටි වූ යම් වචනයක් වේ ද, නුවණැත්තෝ යමකට ගරහත් ද, එහෙයින් මෙය දුබ්භාසිත යැයි කියනු ලැබේ.
15. සේඛිය යැයි යමක් කියන ලද්දේ ද, එය කෙසේ දැයි සවන් දෙන්න: සෘජු මාර්ගය අනුව හැසිරෙන, (ඉහළ ගුණ ලැබීම සඳහා) හික්මෙන සේඛ පුද්ගලයාට,
16. මේ සේඛිය මුල වෙයි, පාදය (පදනම) ද වෙයි, ප්‍රධාන දොරටුව වෙයි, සංයමය (සන්සිඳීම) වෙයි, සංවරය වෙයි. මෙයට සමාන ශික්ෂාවක් නැත. මේ කරුණෙන් මෙය සේඛිය යැයි කියනු ලැබේ.
17. (ඇවැත නැමැති ගෙය) වසා තැබූ විට ඉතා කෙලෙස් වැසි වසියි. විවෘත කළ විට කෙලෙස් වැසි නොවසියි. එහෙයින් වසා ඇති ඇවැත විවෘත කළ යුතු ය. එසේ කළ විට කෙලෙස් වැසි නොවසියි.
18. මුවන්ට වන ලැහැබ පිළිසරණ වෙයි. පක්ෂීන්ට අහස පිළිසරණ වෙයි. හේතු නිසා හටගත් සියලු ධර්මවලට (සංඛත ධර්මවලට) නැති වී යාම ම පිළිසරණ (අවසාන තැන) වෙයි. රහතන් වහන්සේට (අනුපාදිශේෂ) නිවන් ධාතුව ඒකාන්තයෙන් ම පිළිසරණ වෙයි.
ගාථාසංගණිකය නිමි.
එහි නාමාවලිය:
1. නගර හතෙහි පැනවූ ශික්ෂාපද ද, විපත්ති හතර ද, භික්ෂූන්ට හා භික්ෂුණීන්ට පොදු වූ ද පොදු නොවූ ද ශික්ෂාපද ද ඇතුළත් මේ ගාථාසංගණිකය ශාසනයට අනුග්‍රහ පිණිස වේ.