එළකලෝම සමුට්ඨානය
41. එළකලෝම සිකපදය ද, සහසෙය්‍ය සිකපද දෙක ද, ආහච්චපාද, ආවසථපිණ්ඩභෝජන යන සිකපද දෙක ද, ගණභෝජන, විකාලභෝජන, සන්නිධිකාර යන සිකපද තුන ද, දන්තපෝණ සිකපදය ද, අචේලක සිකපදය ද,
42. උය්යුත්තසේනා (යුද්ධයට නැඟී ගිය සේනාව බලන්නට යාම, සේනාවේ වාසය කිරීම) සිකපද දෙක ද, උය්‍යෝධික සිකපදය ද, සුරාපාන, නහාන යන සිකපද දෙක ද, දුබ්බණ්ණකරණ සිකපදය ද, පාටිදේසනීය සිකපද දෙක ද, ලසුණ, උපතිට්ඨාන, නච්චන යන සිකපද තුන ද,
43. නහාන (නිරුවතින් නෑම), අත්ථරණ, තුවට්ටසයන (එක ඇතිරිල්ලක, එක ඇඳක දෙදෙනෙකු නිදීම) යන සිකපද තුන ද, එසේ ම අන්තෝරට්ඨ (රට තුළ), තිරෝරට්ඨ (පිටරට) යන සිකපද දෙක ද, අන්තෝවස්ස, චිත්තාගාර යන සිකපද දෙක ද, ආසන්දි, සුත්තකන්තන (නූල් කැටීම) යන සිකපද දෙක ද,
44. වෙය්‍යාවච්ච, සහත්ථ යන සිකපද දෙක ද, අභික්ඛුකාවාස සිකපදය ද, ඡත්තුපාහන, යාන, සඞ්ඝාණී යන සිකපද තුන ද, ඉත්‍ථාලඞ්කාර, ගන්ධචුණ්ණ, වාසිත යන සිකපද තුන ද,
45. භික්ඛුනී, සික්ඛමානා, සාමණේරී, ගිහිනී යන (ඇඟ පිරිමැද්දවීම පිළිබඳ) සිකපද හතර ද, අසංකච්චික සිකපදය ද යන මේ සිකපද හතළිස් හතර
46. කයින් හටගනී, වචනයෙන් ද සිතින් ද හට නොගනී. කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. මේ සියල්ල එළකලෝම සිකපදයට සමාන වූ, හටගන්නා ආකාර දෙකක් (සමුට්ඨාන දෙකක්) ඇති ඒවා වේ.
එළකලෝම සමුට්ඨානය නිමි.
පදසෝධම්ම සමුට්ඨානය
47. පදසෝධම්ම (පදයෙන් පදය දහම් කියවීම), අඤ්ඤත්ර විඤ්ඤූපුරිස (නුවණැති පිරිමියෙකු නැතිව කාන්තාවන්ට වචන පහ හයකට වඩා දහම් දෙසීම), අසම්මත (පත් නොකළ භික්ෂුවක් භික්ෂුණීන්ට අවවාද කිරීම) යන සිකපද තුන ද, එසේ ම අත්ථඞ්ගතසූරිය (හිරු බැස ගිය පසු භික්ෂුණීන්ට අවවාද කිරීම) සිකපදය ද, තිරච්ඡාන විජ්ජා (තිරිසන් විද්‍යා ඉගෙනීම හා ඉගැන්වීම) සිකපද දෙක ද, අනෝකාස පඤ්හපුච්ඡන (අවසර නොගත් භික්ෂුවකගෙන් ප්‍රශ්න ඇසීම) සිකපදය ද,
48. මේ සිකපද හත වචනයෙන් හටගනී, කයින් ද සිතින් ද හට නොගනී. වචනයෙන් හා සිතින් හටගනී, කයින් කිසිසේත් හට නොගනී. (මේ) සියල්ල පදසෝධම්ම සිකපදයට සමාන වූ, හටගන්නා ආකාර දෙකක් (සමුට්ඨාන දෙකක්) ඇති ඒවා වේ.
පදසෝධම්ම සමුට්ඨානය නිමි.
අද්ධාන සමුට්ඨානය
49. අද්ධාන (භික්ෂුණියක සමඟ කතිකා කරගෙන එකම මගක යාම), නාවාභිරූහන (භික්ෂුණියක සමඟ කතිකා කරගෙන එකම නැවකට නැගීම), පණීතභෝජන (ගිලන් නොවී තමා සඳහා ප්‍රණීත ආහාර ඉල්ලා වැළඳීම) යන සිකපද තුන ද, මාතුගාම සංවිධාන (කාන්තාවක සමඟ කතිකා කරගෙන මග යාම) සිකපදය ද, ලෝමසංහරණ (රහස් තැන ලොම් ඉවත් කරවීම) සිකපදය ද, ධඤ්ඤ විඤ්ඤාපන (ධාන්‍ය ඉල්ලීම) හා නිමන්තන (ආරාධනා ලැබූ හෝ පවාරණය කළ පසු කෑම වැළඳීම) යන සිකපද දෙක ද, භික්ෂුණීන්ට (පැනවූ) පාටිදේසනීය සිකපද අට ද යන,
50. මේ සිකපද පහළොව කයින් හටගනී, වචනයෙන් ද සිතින් ද හට නොගනී. කයින් හා වචනයෙන් හටගනී, ඒවා සිතින් හට නොගනී.
51. කයින් හා සිතින් හටගනී, ඒවා වචනයෙන් හට නොගනී. කය, වචනය, සිත යන තුනෙන් හටගනී. මේ සතර ආකාර සමුට්ඨාන ඇති සිකපද අද්ධාන සිකපදයට සමාන කොට බුදු නුවණින් පනවන ලදී.
අද්ධාන සමුට්ඨානය නිමි.
ථෙය්‍යසත්‍ථ සමුට්ඨානය
52. ථෙය්‍යසත්‍ථ (සොර කණ්ඩායමක් සමඟ කතිකා කරගෙන එකම මගක යාම) සිකපදය ද, උපස්සුති (රහසින් අසා සිටීම) හා විඤ්ඤාපන (සුප හා බත් ඉල්ලීම) යන සිකපද දෙක ද, රත්තන්‍ධකාර (පහන් නැති රාත්‍රී අඳුරේ පිරිමියෙකු සමඟ සිටීම) සිකපදය ද, පටිච්ඡන්න (වැසුණු තැනක පිරිමියෙකු සමඟ සිටීම) සිකපදය ද, අබ්භෝකාස (එළිමහනේ පිරිමියෙකු සමඟ සිටීම) සිකපදය ද, බ්යූහ (වීථියක, කෙළවර වැසුණු මගක හෝ හන්දියක පිරිමියෙකු සමඟ සිටීම) සිකපදය සමඟ මේ සිකපද හතකි.
53. කයින් හා සිතින් හටගනී, ඒවා වචනයෙන් හට නොගනී. කය, වචනය, සිත යන තුනෙන් හටගනී. ථෙය්‍යසත්‍ථ සමුට්ඨානය ඇති මේ සිකපද, හටගන්නා ආකාර දෙකක් ඇති ඒවා යැයි සූර්ය ගෝත්‍රයට අයත් මුනිඳුන් විසින් වදාරන ලදී.
ථෙය්‍යසත්‍ථ සමුට්ඨානය නිමි.
ධම්මදේසන සමුට්ඨානය
54. තථාගතයන් වහන්සේලා කුඩයක් අතේ ඇති තැනැත්තාට දහම් නොදෙසති. එසේ ම දණ්ඩක් අතේ ඇති තැනැත්තාට ද, සැතක් අතේ ඇති තැනැත්තාට ද, ආයුධයක් අතේ ඇති තැනැත්තාට ද,
55. මිරිවැඩි දමා සිටින්නාට ද, පාවහන් දමා සිටින්නාට ද, යානයක සිටින්නාට ද, යහනක සිටින්නාට ද, දණහිස් බැඳගෙන හිඳින්නාට ද, හිස වෙළුම් බැඳගත් තැනැත්තාට ද, හිස වසාගත් තැනැත්තාට ද (දහම් නොදෙසති). මේ අඩු නැති සිකපද එකොළොස,
56. වචනයෙන් හා සිතින් හටගනී, ඒවා කයින් හට නොගනී. (මේ) සියල්ල ධම්මදේසන සිකපදයට සමාන වූ, හටගන්නා ආකාර එකක් පමණක් ඇති ඒවා වේ.
ධම්මදේසන සමුට්ඨානය නිමි.