සඤ්චරිත්ත සමුට්ඨානය
26. සඤ්චරිත්ත සිකපදය ද, කුටිකාර (ඉල්ලීමෙන් කුටියක් කරවීම) සිකපදය ද, විහාරකාර (මහා විහාරයක් කරවීම) සිකපදය ද, (නෑදෑ නොවන භික්ෂුණියක ලවා පැරණි සිවුරු සේදවීම පිළිබඳ) චීවර ධෝවන සිකපදය ද, (නෑදෑ නොවන භික්ෂුණියකගෙන් සිවුරු පිළිගැනීම පිළිබඳ) චීවර පටිග්ගහණ සිකපදය ද, අඤ්ඤාතකවිඤ්ඤත්ති (නෑදෑ නොවන ගෘහපතියෙකුගෙන් සිවුරු ඉල්ලීම) සිකපදය ද, තතුත්තරිසාදියන සිකපදය ද, උපක්ඛට (සිවුරු මිලට ගැනීමට මුදල් වෙන් කර තැබීම පිළිබඳ) සිකපද දෙක ද, (දූතයෙකු අත සිවුරු මිල එවීම පිළිබඳ) රාජ සිකපදය ද,
27. කෝසියමිස්සක (පට නූල් මිශ්ර කර ඇතිරිලි කරවීම) සිකපදය ද, සුද්ධකාළක සිකපදය ද, ද්වේභාග සිකපදය ද, ඡබ්බස්ස සිකපදය ද, නිසීදන (සන්ථත) සිකපදය ද, එළකලෝම ධෝවාපන (එළු ලොම් සේදවීම) සිකපදය ද, රූපිය පටිග්ගහණ (රන් රිදී මුදල් පිළිගැනීම) සිකපදය ද, (රූපියසංවෝහාර, කයවික්කය යන) නොයෙක් ආකාර සිකපද දෙක ද,
28. ඌනපඤ්චබන්ධන සිකපදය ද, වස්සිකසාටික සිකපදය ද, සුත්තවිඤ්ඤාපන (නූල් ඉල්ලා සිවුරු වියවීම) සිකපදය ද, විකප්පාපජ්ජන (රෙදි වියන්නන් වෙත ගොස් සිවුරෙහි වෙනස්කම් කරවීම) සිකපදය ද, ද්වාරකෝස, චීවරදාන, චීවරසිබ්බන යන සිකපද තුන ද, පූවපවාරණ, පච්චයපවාරණ, ජෝතිසමාදහන යන සිකපද තුන ද,
29. රතන සිකපදය ද, සූචිඝර සිකපදය ද, මඤ්චකාරාපන සිකපදය ද, තූල, නිසීදන, කණ්ඩුපටිච්ඡාදන යන සිකපද තුන ද, වස්සිකසාටික, සුගතචීවර යන සිකපද දෙක ද, විඤ්ඤත්ති සිකපදය ද, අඤ්ඤචේතාපන සිකපදය ද,
30. සඞ්ඝික සිකපද දෙක ද, මහාජනික සිකපද දෙක ද, පුග්ගලික, ලහුක, ගරුක යන සිකපද තුන ද, විඝාස සිකපද දෙක ද, උදකසාටිකා, සමණචීවර යන සිකපද දෙක ද,
31. මේ සිකපද සමපනහ (හරියටම පනහ) තැන් හයකින් හටගනී: කයින් හටගනී, වචනයෙන් ද සිතින් ද හට නොගනී. වචනයෙන් හටගනී, කයින් ද සිතින් ද හට නොගනී.
32. කයින් ද වචනයෙන් ද හටගනී, සිතින් හට නොගනී. කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. වචනයෙන් ද සිතින් ද හටගනී, කයින් හට නොගනී. (කය, වචන, සිත යන) දොරටු තුනෙන් ද හටගනී. මේවා සඤ්චරිත්ත සිකපදයට සමාන වූ, හටගන්නා ආකාර හයක් (සමුට්ඨාන හයක්) ඇති ඒවා වේ.
සඤ්චරිත්ත සමුට්ඨානය නිමි.
සමනුභාසන සමුට්ඨානය
33. සඞ්ඝභේදානුවත්තක, දුබ්බච, කුලදූසක, දුට්ඨුල්ලපටිච්ඡාදන, දිට්ඨිඅප්පටිනිස්සජ්ජන යන සිකපද පහ ද, ඡන්ද (ඡන්දය නොදී යාම) සිකපදය ද, උජ්ජග්ඝික (මහ හඬින් සිනාසෙමින් ගම් තුළ යාම, හිඳීම) සිකපද දෙක ද, අප්පසද්ද (නිහඬව ගම් තුළ යාම, හිඳීම) සිකපද දෙක ද, න බ්යාහරණ (බත් පිඬ සහිත මුවින් කතා නොකිරීම) සිකපදය ද,
34. ඡමා, නීචාසන, ඨාන යන (බිම හිඳ, පහත් අසුනක හිඳ, සිට ගෙන දහම් දෙසීම පිළිබඳ) සිකපද තුන ද, පච්ඡතෝගමන, උප්පථගමන යන (පිටුපසින් යමින්, මඟින් පිටතින් යමින් දහම් දෙසීම පිළිබඳ) සිකපද දෙක ද, වජ්ජපටිච්ඡාදන, උක්ඛිත්තානුවත්තන, හත්ථග්ගහණ යන සිකපද තුන ද, ඕසාරණ (කාරක සඞ්ඝයාගෙන් නොවිමසා යළි ඇතුළත් කිරීම) සිකපදය ද, පච්චක්ඛාන (බුදුන් ප්රතික්ෂේප කිරීම) සිකපදය ද,
35. කිස්මිඤ්චිදේව සිකපදය ද, සංසට්ඨ සිකපද දෙක ද, රෝදන සිකපදය ද, විසිබ්බන, දුක්ඛිත යන සිකපද දෙක ද, (නැවත) සංසට්ඨ, න වූපසම යන සිකපද දෙක ද, ආරාම, පවාරණ යන සිකපද දෙක ද,
36. අන්වද්ධමාස සිකපදය ද, සහජීවිනී සිකපද දෙක ද, චීවර සිකපදය ද, ද්වේවස්සානුබන්ධන සිකපදය ද යන මේ සිකපද තිස් හත කය, වචන, සිත යන තුනෙන් ම හටගනී. මේ සියල්ල සමනුභාසනය මෙන් හටගන්නා ආකාර එකක් (එක් සමුට්ඨානයක්) ඇති ඒවා වේ.
සමනුභාසන සමුට්ඨානය නිමි.
කඨින සමුට්ඨානය
37. උබ්භතකඨින සිකපද තුන ද, පළමු පත්ත සිකපදය සහ භේසජ්ජ සිකපදය යන දෙක ද, අච්චේකචීවර සිකපදය ද, සාසඞ්ක සිකපදය ද, (සේනාසනය හැර) පිටත්ව යාම පිළිබඳ සිකපද දෙක ද,
38. භික්ඛුනුපස්සය සිකපදය ද, පරම්පරභෝජන සිකපදය ද, අනතිරිත්ත සිකපදය ද, නිමන්තන සිකපදය ද, විකප්පන සිකපදය ද, අන්තේපුර සිකපදය ද, විකාලේ ගාමප්පවේසන (නොකල් වේලාවේ ගමට පිවිසීම) සිකපදය ද, වෝසාසමාන සිකපදය ද, ආරඤ්ඤක සිකපදය ද,
39. උස්සයවාදිකා, පත්තසන්නිචය යන සිකපද දෙක ද, පුරේභත්ත, පච්ඡාභත්ත, විකාල යන (පවුල් වෙත යාම පිළිබඳ) සිකපද තුන ද, පඤ්චාහික සඞ්ඝාටිචාර, චීවරසඞ්කමනීය යන සිකපද දෙක ද, ආවසථ සිකපද දෙක ද,
40. පසාඛ සිකපදය ද, (නොවිමසා අසුනක හිඳීම පිළිබඳ) ආසන සිකපදය ද යන මේ සිකපද විසි නවය කය, වචන දෙකින් හටගනී, සිතින් හට නොගනී. දොරටු තුනෙන් ද හටගනී. මේ සියල්ල කඨින සිකපදයට සමාන වූ, හටගන්නා ආකාර දෙකක් ඇති ඒවා වේ.
කඨින සමුට්ඨානය නිමි.
එළකලෝම සමුට්ඨානය
41. එළකලෝම සිකපදය ද, සහසෙය්ය සිකපද දෙක ද, ආහච්චපාද, ආවසථපිණ්ඩභෝජන යන සිකපද දෙක ද, ගණභෝජන, විකාලභෝජන, සන්නිධිකාර යන සිකපද තුන ද, දන්තපෝණ සිකපදය ද, අචේලක සිකපදය ද,
42. උය්යුත්තසේනා (යුද්ධයට නැඟී ගිය සේනාව බලන්නට යාම, සේනාවේ වාසය කිරීම) සිකපද දෙක ද, උය්යෝධික සිකපදය ද, සුරාපාන, නහාන යන සිකපද දෙක ද, දුබ්බණ්ණකරණ සිකපදය ද, පාටිදේසනීය සිකපද දෙක ද, ලසුණ, උපතිට්ඨාන, නච්චන යන සිකපද තුන ද,
43. නහාන (නිරුවතින් නෑම), අත්ථරණ, තුවට්ටසයන (එක ඇතිරිල්ලක, එක ඇඳක දෙදෙනෙකු නිදීම) යන සිකපද තුන ද, එසේ ම අන්තෝරට්ඨ (රට තුළ), තිරෝරට්ඨ (පිටරට) යන සිකපද දෙක ද, අන්තෝවස්ස, චිත්තාගාර යන සිකපද දෙක ද, ආසන්දි, සුත්තකන්තන (නූල් කැටීම) යන සිකපද දෙක ද,
44. වෙය්යාවච්ච, සහත්ථ යන සිකපද දෙක ද, අභික්ඛුකාවාස සිකපදය ද, ඡත්තුපාහන, යාන, සඞ්ඝාණී යන සිකපද තුන ද, ඉත්ථාලඞ්කාර, ගන්ධචුණ්ණ, වාසිත යන සිකපද තුන ද,
45. භික්ඛුනී, සික්ඛමානා, සාමණේරී, ගිහිනී යන (ඇඟ පිරිමැද්දවීම පිළිබඳ) සිකපද හතර ද, අසංකච්චික සිකපදය ද යන මේ සිකපද හතළිස් හතර
46. කයින් හටගනී, වචනයෙන් ද සිතින් ද හට නොගනී. කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. මේ සියල්ල එළකලෝම සිකපදයට සමාන වූ, හටගන්නා ආකාර දෙකක් (සමුට්ඨාන දෙකක්) ඇති ඒවා වේ.
එළකලෝම සමුට්ඨානය නිමි.