ප්‍රශ්න බෙදා දැක්වීම
1. “ඔබ කුමක් දුටුවෙහි ද?” යනු කවර ප්‍රශ්නයක් ද? “ඔබ කෙසේ දුටුවෙහි ද?” යනු කවර ප්‍රශ්නයක් ද? “ඔබ කවදා දුටුවෙහි ද?” යනු කවර ප්‍රශ්නයක් ද? “ඔබ කොහිදී දුටුවෙහි ද?” යනු කවර ප්‍රශ්නයක් ද? යත්:
2. “ඔබ කුමක් දුටුවෙහි ද?” යනු: වස්තු ප්‍රශ්නය ය, විපත්ති ප්‍රශ්නය ය, ආපත්ති ප්‍රශ්නය ය, අජ්ඣාචාර ප්‍රශ්නය ය.
වස්තු ප්‍රශ්නය නම්: පාරාජිකා අට පිළිබඳ (වරදට හේතු වූ කරුණ විමසන) වස්තු ප්‍රශ්නය ය, සංඝාදිසේස විසිතුන පිළිබඳ වස්තු ප්‍රශ්නය ය, අනියත දෙක පිළිබඳ වස්තු ප්‍රශ්නය ය, නිස්සග්ගිය හතළිස් දෙක පිළිබඳ වස්තු ප්‍රශ්නය ය, පාචිත්තිය එකසිය අසූඅට පිළිබඳ වස්තු ප්‍රශ්නය ය, පාටිදේසනීය දොළහ පිළිබඳ වස්තු ප්‍රශ්නය ය, දුක්කට පිළිබඳ වස්තු ප්‍රශ්නය ය, දුබ්භාසිත පිළිබඳ වස්තු ප්‍රශ්නය ය.
විපත්ති ප්‍රශ්නය නම්: සීල විපත්ති (සීලයෙන් පිරිහීම) ප්‍රශ්නය ය, ආචාර විපත්ති (හැසිරීමෙන් පිරිහීම) ප්‍රශ්නය ය, දෘෂ්ටි විපත්ති (මතයෙන් පිරිහීම) ප්‍රශ්නය ය, ආජීව විපත්ති (දිවි පැවැත්මෙන් පිරිහීම) ප්‍රශ්නය ය.
ආපත්ති ප්‍රශ්නය නම්: පාරාජිකා ඇවැත පිළිබඳ ප්‍රශ්නය ය, සංඝාදිසේස ඇවැත පිළිබඳ ප්‍රශ්නය ය, ථුල්ලච්චය ඇවැත පිළිබඳ ප්‍රශ්නය ය, පාචිත්තිය ඇවැත පිළිබඳ ප්‍රශ්නය ය, පාටිදේසනීය ඇවැත පිළිබඳ ප්‍රශ්නය ය, දුක්කට ඇවැත පිළිබඳ ප්‍රශ්නය ය, දුබ්භාසිත ඇවැත පිළිබඳ ප්‍රශ්නය ය.
අජ්ඣාචාර ප්‍රශ්නය නම්: (මෛථුනය සේවනය කිරීම පිළිබඳව) දෙදෙනා එක්ව යෙදීම (ද්වයංද්වයසමාපත්තිය) පිළිබඳ ප්‍රශ්නය ය.
3. “ඔබ කෙසේ දුටුවෙහි ද?” යනු: ලිංග ප්‍රශ්නය ය, ඉරියව් ප්‍රශ්නය ය, ආකාර ප්‍රශ්නය ය, විප්‍රකාර ප්‍රශ්නය ය.
ලිංග ප්‍රශ්නය නම්: (ඒ තැනැත්තා) දිගු බව හෝ කෙටි බව හෝ කළු බව හෝ සුදු බව හෝ ය.
ඉරියව් ප්‍රශ්නය නම්: යමින් සිටියදී හෝ සිටගෙන සිටියදී හෝ හිඳගෙන සිටියදී හෝ සැතපී සිටියදී හෝ ය.
ආකාර ප්‍රශ්නය නම්: ගිහි වෙසින් හෝ තීර්ථක වෙසින් හෝ පැවිදි වෙසින් හෝ සිටියදී ය.
විප්‍රකාර ප්‍රශ්නය නම්: යමින් සිටියදී හෝ සිටගෙන සිටියදී හෝ හිඳගෙන සිටියදී හෝ සැතපී සිටියදී හෝ ය.
4. “ඔබ කවදා දුටුවෙහි ද?” යනු: කාල ප්‍රශ්නය ය, සමය ප්‍රශ්නය ය, දවස පිළිබඳ ප්‍රශ්නය ය, ඍතු ප්‍රශ්නය ය.
කාල ප්‍රශ්නය නම්: පෙරවරු කාලයෙහි හෝ මධ්‍යාහ්න කාලයෙහි හෝ සවස් කාලයෙහි හෝ ය.
සමය ප්‍රශ්නය නම්: පෙරවරු සමයෙහි හෝ මධ්‍යාහ්න සමයෙහි හෝ සවස් සමයෙහි හෝ ය.
දවස පිළිබඳ ප්‍රශ්නය නම්: දන් වැළඳීමට පෙර හෝ දන් වැළඳීමෙන් පසු හෝ රාත්‍රියෙහි හෝ දහවල හෝ අව පක්ෂයෙහි හෝ පුර පක්ෂයෙහි හෝ ය.
ඍතු ප්‍රශ්නය නම්: හේමන්ත (සීත) ඍතුවෙහි හෝ ගිම්හාන (ග්‍රීෂ්ම) ඍතුවෙහි හෝ වස්සාන (වැසි) ඍතුවෙහි හෝ ය.
5. “ඔබ කොහිදී දුටුවෙහි ද?” යනු: ස්ථාන ප්‍රශ්නය ය, භූමි ප්‍රශ්නය ය, අවකාශ ප්‍රශ්නය ය, ප්‍රදේශ ප්‍රශ්නය ය.
ස්ථාන ප්‍රශ්නය නම්: බිම හෝ පොළොවෙහි හෝ දෙරණෙහි හෝ මිහිපිට හෝ ය.
භූමි ප්‍රශ්නය නම්: බිම හෝ පොළොවෙහි හෝ පර්වතයෙහි හෝ ගලෙහි හෝ ප්‍රාසාදයෙහි (මාලිගයෙහි) හෝ ය.
අවකාශ ප්‍රශ්නය නම්: නැගෙනහිර දිශාවේ අවකාශයෙහි හෝ බටහිර දිශාවේ අවකාශයෙහි හෝ උතුරු දිශාවේ අවකාශයෙහි හෝ දකුණු දිශාවේ අවකාශයෙහි හෝ ය.
ප්‍රදේශ ප්‍රශ්නය නම්: නැගෙනහිර දිශාවේ පෙදෙසෙහි හෝ බටහිර දිශාවේ පෙදෙසෙහි හෝ උතුරු දිශාවේ පෙදෙසෙහි හෝ දකුණු දිශාවේ පෙදෙසෙහි හෝ ය.
මහාසංග්‍රාමය නිමියි.
එහි නාමාවලිය:
1. වස්තුව ද, නිදානය ද, ආකාරය ද, පුබ්බාපරය ද, කතාකතය ද, කර්මය ද, අධිකරණය ද, ශමථය ද, ඡන්දගාමී බව ද,
2. දෝසගාමී බව ද, මෝහගාමී බව ද, භයගාමී බව ද, සඤ්ඤාපනීය ද, නිජ්ඣාපනීය ද, පෙක්ඛනීය ද, පසාදනීය ද, ලද්ධපක්ඛ ද, බහුස්සුත ද, ථේරතර ද,
3. අසම්පත්ත ද, සම්පත්ත ද, ධම්ම, විනය, සත්ථුසාසන ද යන මේවායින් මහාසංග්‍රාමය හඳුන්වනු ලැබේ.