චූළසංග්රාමය
අනුවිජ්ජකයාගේ පිළිවෙත
1. සංග්‍රාමාවචර (සංඝයා මැද අධිකරණ විනිශ්චය කරන) භික්ෂුව, යටහත් සිතින්, පා පිසින රෙද්දක් මෙන් මාන්නය නැතිව සංඝයා වෙත පැමිණිය යුතුය. තමාට සුදුසු අසුනක් තෝරා ගැනීමෙහි දක්ෂ විය යුතුය. හිඳීම පිළිබඳ දැනීමෙහි දක්ෂ වූ ඔහු, වැඩිමහලු (ස්ථවිර) භික්ෂූන් අතරට තෙරපී නොයමින්, නවක භික්ෂූන් අසුනෙන් ඉවත් නොකරමින්, තමාට සුදුසු අසුනෙහි හිඳ ගත යුතුය. රාජ කථා ආදී තිරශ්චීන කථා (නිවනට බාධා වන නිසරු කතා) නොකරමින්, නොයෙක් ආකාරයේ වැඩක් නැති කතාවලින් තොර විය යුතුය. තමා හෝ ධර්මය දේශනා කළ යුතුය, නැතහොත් අන් කෙනෙකුට හෝ (දේශනා කරන ලෙස) ආරාධනා කළ යුතුය. කමටහන් මෙනෙහි කිරීම නම් වූ ආර්ය නිශ්ශබ්දතාව (ආර්ය තුෂ්ණීම්භාවය) හෝ පහත් කොට නොසැලකිය යුතුය.
2. සංඝයා විසින් අනුමත කරන ලද, විනිශ්චය කිරීමට කැමති අනුවිජ්ජක පුද්ගලයා විසින් (“ඔබගේ උපාධ්‍යායයන් කවුරුන්ද?” කියා) උපාධ්‍යායයන් ගැන නොඇසිය යුතුය. ආචාර්යයන් ගැන නොඇසිය යුතුය. සද්ධිවිහාරිකයා (උපාධ්‍යාය ලෙස තමා යටතේ සිටින ශිෂ්‍යයා) ගැන නොඇසිය යුතුය. අන්තේවාසිකයා (ආචාර්ය ලෙස තමා යටතේ සිටින ශිෂ්‍යයා) ගැන නොඇසිය යුතුය. එකම උපාධ්‍යායයන් ඇති අය ගැන නොඇසිය යුතුය. එකම ආචාර්යයන් ඇති අය ගැන නොඇසිය යුතුය. (“ඔබ ක්ෂත්රිය ජාතියේද, බ්‍රාහ්මණ ජාතියේද?” කියා) ජාතිය නොඇසිය යුතුය. නම නොඇසිය යුතුය. ගෝත්‍රය නොඇසිය යුතුය. (“ඔබ දීඝභාණකද, මජ්ඣිමභාණකද?” කියා) ආගමය (ඉගෙන ගත් නිකාය) නොඇසිය යුතුය. (ක්ෂත්රිය ආදී) කුලය නොඇසිය යුතුය. උපන් බිම නොඇසිය යුතුය. ඒ කුමක් නිසාද යත්: මෙයින් එක් කරුණක් නිසා ඒ පුද්ගලයා කෙරෙහි ඔහුට ප්‍රේමය හෝ ද්වේෂය හෝ ඇති විය හැකිය. ප්‍රේමය හෝ ද්වේෂය හෝ ඇති විට කැමැත්තෙන් (ඡන්දයෙන්) ද අගතියට (අසාධාරණ මඟට) යා හැකිය, ද්වේෂයෙන් ද අගතියට යා හැකිය, මෝහයෙන් ද අගතියට යා හැකිය, බියෙන් ද අගතියට යා හැකිය.
3. සංඝයා විසින් අනුමත කරන ලද, විනිශ්චය කිරීමට කැමති අනුවිජ්ජක පුද්ගලයා පුද්ගලයාට ගරු කරන්නෙකු නොව සංඝයාට ගරු කරන්නෙකු විය යුතුය. ආමිසයට (ලාභ ප්රයෝජනවලට) ගරු කරන්නෙකු නොව සද්ධර්මයට ගරු කරන්නෙකු විය යුතුය. පිරිසට රුචි දේ අනුව කියන්නෙකු නොව අර්ථයට (සත්‍යයට) අනුව කටයුතු කරන්නෙකු විය යුතුය. නුසුදුසු කාලයේ නොව සුදුසු කාලයේ විනිශ්චය කළ යුතුය. අසත්‍යයෙන් නොව සත්‍යයෙන් විනිශ්චය කළ යුතුය. රළු වචනයෙන් නොව මෘදු වචනයෙන් විනිශ්චය කළ යුතුය. අයහපත පිණිස වූ වචනයෙන් නොව යහපත පිණිස වූ වචනයෙන් විනිශ්චය කළ යුතුය. ද්වේෂයෙන් දූෂිත වූ සිතින් නොව මෛත්‍රී සිතින් විනිශ්චය කළ යුතුය. කණට කොඳුරා කියන්නෙකු නොවිය යුතුය. වරදම සොයා නොබැලිය යුතුය. ඇස් ගසා සංඥා නොකළ යුතුය. බැම ඔසවා නොපෙන්විය යුතුය. හිස ඔසවා නොපෙන්විය යුතුය. අත්වලින් සංඥා නොකළ යුතුය. අත්වලින් ලකුණු (කිව යුතු දේ හා නොකිව යුතු දේ හඟවන සංඥා) නොපෙන්විය යුතුය.
4. තමාට ලැබෙන අසුන ඉක්මවා නොයමින් අසුන් ගැනීමෙහි දක්ෂ වූ, හිඳීමෙහි දක්ෂ වූ කෙනෙකු විය යුතුය. වියගහක් පමණ (රියන් හතරක් පමණ) දුරක් බලමින්, විනිශ්චය ගැනම සලකා බලමින් තම අසුනෙහි හිඳ ගත යුතුය. අසුනෙන් නැගිට (සභාව තුළ) නොඇවිදිය යුතුය. විනිශ්චය අඩු නොකළ යුතුය (පිරිහෙළා නොදැමිය යුතුය). (නොමඟට ගොස්) ඇවැත් නොදැක්විය යුතුය. අත් වනමින් කතා නොකළ යුතුය. ඉක්මන් වී හදිසියේ (නපුරු වචන) නොකිය යුතුය. චණ්ඩ නොවූ, නපුරු වචන ඉවසන ස්වභාවය ඇති කෙනෙකු විය යුතුය. මෛත්‍රී සිත් ඇති කෙනෙකු විය යුතුය.
යහපත කැමති අනුකම්පාව ඇති කෙනෙකු විය යුතුය. යහපත සොයන කරුණාව ඇති කෙනෙකු විය යුතුය. හිස් වචන නොකියන, සීමාව දැන කතා කරන කෙනෙකු විය යුතුය. ක්‍රෝධයට යට නොවූ, නොමනා (ගැටුම් ඇති කරන) වචන නොකියන කෙනෙකු විය යුතුය. තමා ගැන (විනිශ්චයට හැකියාව ඇත්ද නැද්ද යන්න) පරීක්ෂා කොට දැනගත යුතුය. අනුන් ගැන පරීක්ෂා කොට දැනගත යුතුය. චෝදකයා (චෝදනා කරන්නා) ගැන පරීක්ෂා කොට දැනගත යුතුය. චුදිතකයා (චෝදනා ලැබූ තැනැත්තා) ගැන පරීක්ෂා කොට දැනගත යුතුය. අධර්මයෙන් චෝදනා කරන්නාගේ ප්‍රමාණය දැනගත යුතුය. අධර්මයෙන් චෝදනා ලැබූ තැනැත්තාගේ ප්‍රමාණය දැනගත යුතුය. ධර්මයෙන් චෝදනා කරන්නාගේ ප්‍රමාණය දැනගත යුතුය. ධර්මයෙන් චෝදනා ලැබූ තැනැත්තාගේ ප්‍රමාණය දැනගත යුතුය. (චෝදකයා හා චුදිතකයා විසින්) කියන ලද වචන අඩු නොකරමින්, ඉදිරිපත් නොකළ කරුණු එළිදරව් නොකරමින්, ඉදිරිපත් වූ වචන (පද ව්‍යඤ්ජන) හොඳින් සිතේ තබාගෙන, අනෙකාගෙන් නැවත විමසා, ඔහු පිළිගත් පරිදි කරවිය යුතුය. මුළා වූ තැනැත්තා දිරිමත් කළ යුතුය. බියසුලු තැනැත්තා අස්වැසිය යුතුය. චණ්ඩ තැනැත්තා (තර්ජනයෙන්) වැළැක්විය යුතුය. ලජ්ජා නැති (අලජ්ජී) භික්ෂුව හෙළිදරව් කළ යුතුය (ඇවැත් දෙසවිය යුතුය). ඍජු භික්ෂුව මෘදු ලෙස විමසිය යුතුය. කැමැත්තෙන් (ඡන්දයෙන්) අගතියට නොයා යුතුය. ද්වේෂයෙන් අගතියට නොයා යුතුය. මෝහයෙන් අගතියට නොයා යුතුය. බියෙන් අගතියට නොයා යුතුය. (ධර්මයට ගරු කරන්නෙකු ලෙස) ධර්මය කෙරෙහි ද පුද්ගලයන් කෙරෙහි ද මධ්‍යස්ථ විය යුතුය. මෙසේ විනිශ්චය කරන අනුවිජ්ජකයා ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන්නෙක් ද වෙයි. නුවණැති සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය ද, මනාප ද, ගරු කළ යුතු ද, සම්භාවනීය ද වෙයි.
5. (අනුවිජ්ජකයා විසින් ගෙනහැර දක්වන) සූත්‍රය (ඇවැත ඇති බව හා නැති බව) සසඳා බැලීම සඳහාය. උපමාව අර්ථය පෙන්වීම සඳහාය. අර්ථය දැනුම් දීම සඳහාය. නැවත විමසීම පුද්ගලයා (ඔහු කියූ දෙයෙහි) පිහිටුවීම සඳහාය. ඕකාස කර්මය (චෝදනා කිරීමට අවසර ගැනීම) චෝදනාව සඳහාය. චෝදනාව (දොස් ඇති නැති බව) සිහි කරවීම සඳහාය. සිහි කරවීම කිව යුතු බව (සවචනීය) සඳහාය. කිව යුතු බව පළිබෝධය (“මේ ආවාසයෙන් වෙන තැනකට නොයන්න” කියා නවතා තැබීම) සඳහාය. පළිබෝධය විනිශ්චයට පමුණුවීම සඳහාය. විනිශ්චය (දොස් ඇති නැති බව) තීරණය කිරීම සඳහාය. තීරණය කිරීම ඨානාඨාන ගමනය (ඇවැත් ඇති නැති බව ද, බර හා සැහැල්ලු ඇවැත් ද දැන ගැනීම) සඳහාය. ඨානාඨාන ගමනය ලජ්ජා නැති (අලජ්ජී) පුද්ගලයන්ට නිග්‍රහ කිරීම සඳහාය, ප්‍රිය ශීල ඇති භික්ෂූන්ට රුකුල් දීම සඳහාය. සංඝයා විනිශ්චය මනාව පිළිගැනීම සඳහාය. පිළිගැනීම හොඳින් විනිශ්චය වූ බව හෝ නරකින් විනිශ්චය වූ බව දැන ගැනීම සඳහාය. දැන ගැනීම කලකිරීම ඇති නොවීම සඳහාය. සංඝයා විසින් අනුමත කළ පුද්ගලයෝ ස්වාධීන ප්‍රධාන තැන්හි සිටින්නෝ ද, (අනුන්) නොරවටන තැන්හි සිටින්නෝ ද වෙති.
6. විනය (කය හා වචනය) සංවර කර ගැනීම සඳහාය. සංවරය පසුතැවීම නැති වීම සඳහාය. පසුතැවීම නැති වීම ප්‍රමෝදය සඳහාය. ප්‍රමෝදය ප්‍රීතිය සඳහාය. ප්‍රීතිය (කයේ හා සිතේ) පීඩා සංසිඳීම සඳහාය. සංසිඳීම (ප්‍රශ්‍රබ්ධිය) සැපය සඳහාය. සැපය සමාධිය සඳහාය. සමාධිය යථාභූත ඥාන දර්ශනය (ඇති සැටියෙන් දකින නුවණ) සඳහාය. යථාභූත ඥාන දර්ශනය නිර්වේදය (කලකිරීම) සඳහාය. නිර්වේදය විරාගය (නොඇලීම) සඳහාය. විරාගය විමුක්තිය (කෙලෙසුන්ගෙන් මිදීම) සඳහාය. විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය (මිදුණු බව දකින නුවණ) සඳහාය. විමුක්ති ඥාන දර්ශනය අනුපාදා පරිනිර්වාණය (කිසිවකට නොඇලී සම්පූර්ණයෙන් නිවී යාම) සඳහාය. සිතේ කිසිවකට නොඇලී මිදීම (අනුපාදා විමෝක්ෂය) යමක් වේද, විනය කථාව ඒ සඳහාය. විනය සාකච්ඡාව ඒ සඳහාය. (‘විනය සංවරය සඳහාය’ ආදී ලෙස) එකකට එකක් හේතු වීම ඒ සඳහාය. (මේ කතාවට) සවන් යොමු කිරීම ඒ සඳහාය.
1. දක්ෂ වූ, අග්‍ර බුද්ධිමත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, මනාව ප්‍රකාශ කරන ලද, ශික්ෂාපදවලට අනුකූල වූ අනුයෝග වත (විමසීමේ පිළිවෙත), පරලොව සුගතියට යාම නොනසමින් අසන්න.
2. කරුණු නොකරුණු ගැන අදක්ෂ වූ තැනැත්තා (පාරාජිකා ආදී) වස්තුව ද, (සතර ආකාර) විපත්තිය ද, ඇවැත් සත් කොටස (සප්ත ආපත්ති ස්කන්ධය) ද, (ශික්ෂාපදවල) නිදානය ද, පෙර පසු වචනය ද නොදනී. එසේ පෙර පසු නොදැනීමට සමාන නොදැනීමෙන් කළ දේ හා නොකළ දේ ද නොදනී.