2. 5.
පාටිදේසනීය කාණ්ඩය
1. ගම ඇතුළට පිවිසි, නෑදෑ නොවන භික්ෂුණියකගේ අතින් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ තමාගේ අතින්ම පිළිගෙන වළඳන භික්ෂුව කොපමණ ඇවැත්වලට පැමිණේ ද යත්: ගම ඇතුළට පිවිසි, නෑදෑ නොවන භික්ෂුණියකගේ අතින් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ තමාගේ අතින්ම පිළිගෙන වළඳන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ. ගම ඇතුළට පිවිසි, නෑදෑ නොවන භික්ෂුණියකගේ අතින් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ තමාගේ අතින්ම පිළිගෙන වළඳන භික්ෂුව මේ ඇවැත් දෙකට පැමිණේ.
2. භික්ෂුණියක (දානය බෙදීම ගැන) විධාන කරන විට ඇය නොවළක්වා වළඳන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
3. සේඛ සම්මතය ලැබූ පවුල්වලදී (සංඝයා විසින් සේඛ කුල ලෙස සම්මත කළ පවුල්වලදී) කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ තමාගේ අතින්ම පිළිගෙන වළඳන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ.
4. වනයේ ඇති සෙනසුන්වලදී, කලින් දැනුම් නොදුන් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ ආරාමය තුළදී තමාගේ අතින්ම පිළිගෙන වළඳන භික්ෂුව කොපමණ ඇවැත්වලට පැමිණේ ද යත්: වනයේ ඇති සෙනසුන්වලදී, කලින් දැනුම් නොදුන් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ ආරාමය තුළදී තමාගේ අතින්ම පිළිගෙන වළඳන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින ගිලින වාරයක් පාසා පාටිදේසනීය ඇවැත වේ. වනයේ ඇති සෙනසුන්වලදී, කලින් දැනුම් නොදුන් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු දෙයක් හෝ ආරාමය තුළදී තමාගේ අතින්ම පිළිගෙන වළඳන භික්ෂුව මේ ඇවැත් දෙකට පැමිණේ.
පාටිදේසනීය හතර නිමි.
2. 6.
සේඛිය කාණ්ඩය
6. 1.
1. අනාදරයෙන් (නොසැලකිල්ලෙන්) ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ අඳින භික්ෂුව කොපමණ ඇවැත්වලට පැමිණේ ද යත්: අනාදරයෙන් ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ අඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි. අනාදරයෙන් ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ අඳින භික්ෂුව මේ එක් ඇවැතට පැමිණේ.
2. අනාදරයෙන් ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ එල්ලා වැටෙන සේ පොරවන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් ශරීරය විවෘත කරගෙන ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් ශරීරය විවෘත කරගෙන ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් අත හෝ පය හෝ සොලවමින් (සෙල්ලම් කරමින්) ගම ඇතුළේ යන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් අත හෝ පය හෝ සොලවමින් ගම ඇතුළේ හිඳින භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.