4. 3.
1. සංඝයාගේ සම්මතය නොලැබ භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: අවවාද දෙයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අවවාද දුන් කල පාචිත්තිය ඇවැත වේ.
2. හිරු බැස ගිය පසු භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: අවවාද දෙයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අවවාද දුන් කල පාචිත්තිය ඇවැත වේ.
3. භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: අවවාද දෙයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අවවාද දුන් කල පාචිත්තිය ඇවැත වේ.
4. “භික්ෂූන් ආමිසය (ලාභ ප්‍රයෝජන) නිසා භික්ෂුණීන්ට අවවාද දෙති” යි කියන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: කියයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කී කල පාචිත්තිය ඇවැත වේ.
5. ඥාති නොවන භික්ෂුණියකට සිවුරක් දෙන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: දෙයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. දුන් කල පාචිත්තිය ඇවැත වේ.
6. ඥාති නොවන භික්ෂුණියකගේ සිවුරක් මසන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: මසයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ඉඳිකටුවෙන් විදින වාරයක් පාසා පාචිත්තිය ඇවැත වේ.
7. භික්ෂුණියක සමඟ එකඟ වී එකම දිගු මාර්ගයක ගමන් කරන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: ගමන් කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ගමන් කළ කල පාචිත්තිය ඇවැත වේ.
8. භික්ෂුණියක සමඟ එකඟ වී එකම නැවකට නඟින භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: නඟියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. නැඟි කල පාචිත්තිය ඇවැත වේ.
9. භික්ෂුණියක විසින් පිළියෙළ කරවූ ආහාරයක් බව දැන දැනම වළඳන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින කටක් පාසා පාචිත්තිය ඇවැත වේ.
10. තනි භික්ෂුවක් තනි භික්ෂුණියක සමඟ රහසිගතව හිඳ ගන්නේ නම් ඒ භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: හිඳියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. හිඳ ගත් කල පාචිත්තිය ඇවැත වේ.
තුන්වන ඕවාද වර්ගයයි.
4. 4.
1. මගීන් ආදීන් සඳහා පිළියෙළ කළ ආවසථ පිණ්ඩය (නවාතැන් ශාලාවක දෙන දානය) එයට (එක් දිනකට) වඩා වළඳන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින කටක් පාසා පාචිත්තිය ඇවැත වේ.
2. ගණභෝජනය (පිරිසක් ලෙස එකට වළඳන දානය) වළඳන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: “වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත වේ. ගිලින කටක් පාසා පාචිත්තිය ඇවැත වේ.