3. 1.
1. (අධිෂ්ඨාන නොකළ, විකප්ප නොකළ) අතිරේක සිවුරක් දින දහයක් ඉක්මවා තබා ගන්නා භික්ෂුව එක් නිස්සග්ගිය පාචිත්තිය ඇවැතකට පැමිණේ.
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන්ව වසන භික්ෂුව එක් නිස්සග්ගිය පාචිත්තිය ඇවැතකට පැමිණේ.
3. අකාල සිවුරක් පිළිගෙන මාසයක් ඉක්මවන භික්ෂුව එක් නිස්සග්ගිය පාචිත්තිය ඇවැතකට පැමිණේ.
4. ඥාතියෙකු නොවන භික්ෂුණියක ලවා පරණ සිවුරක් සෝදවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: සෝදවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. සෝදවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
5. ඥාතියෙකු නොවන භික්ෂුණියකගේ අතින් සිවුරක් පිළිගන්නා භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: ගනියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ගත් කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
6. ඥාතියෙකු නොවන ගෘහපතියෙකුගෙන් හෝ ගෘහපතිනියකගෙන් හෝ සිවුරක් ඉල්ලා ගන්නා භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: ඉල්ලයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ඉල්ලා ගත් කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
7. ඥාතියෙකු නොවන ගෘහපතියෙකුගෙන් හෝ ගෘහපතිනියකගෙන් හෝ (අවසර ඇති ප්‍රමාණයට) වඩා වැඩි සිවුරක් ඉල්ලා ගන්නා භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: ඉල්ලයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ඉල්ලා ගත් කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
8. පෙර පවාරණය නොකරන ලද (කැමති දෙයක් ඉල්ලන ලෙස ආරාධනා නොලැබූ) භික්ෂුව ඥාතියෙකු නොවන ගෘහපතියෙකු වෙත ගොස් සිවුර ගැන අමතර නියම කරයි නම් ඇවැත් දෙකකට පැමිණේ: අමතර නියම කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අමතර නියම කළ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
9. පෙර පවාරණය නොකරන ලද භික්ෂුව ඥාතීන් නොවන ගෘහපතියන් වෙත ගොස් සිවුර ගැන අමතර නියම කරයි නම් ඇවැත් දෙකකට පැමිණේ: අමතර නියම කරයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. අමතර නියම කළ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
10. තුන් වරකට වඩා (සිවුර ගැන) මතක් කිරීමෙන් ද, හය වරකට වඩා ඒ සඳහා ගොස් සිටීමෙන් ද සිවුරක් ලබා ගන්නා භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: ලබා ගනියි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. ලබා ගත් කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
පළමුවන කඨින වර්ගයයි.
3. 2.
1. සේද නූල් මිශ්‍ර ඇතිරියක් කරවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කරවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
2. තනිකර කළු පැහැති එළු ලොම්වලින් ඇතිරියක් කරවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කරවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
3. සුදු එළු ලොම් කොටසක් ද දුඹුරු පැහැති එළු ලොම් කොටසක් ද නොගෙන අලුත් ඇතිරියක් කරවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කරවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
4. වසරක් පාසා ඇතිරියක් කරවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කරවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
5. පරණ ඇතිරියක අවට කොටසින් සුගත වියතක් පමණ කොටසක් නොගෙන අලුත් වාඩිවන ඇතිරියක් (නිසීදන සන්ථතයක්) කරවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: කරවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. කරවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
6. එළු ලොම් පිළිගෙන යොදුන් තුනක් ඉක්මවා යන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: පළමු පියවර යොදුන් තුන ඉක්මවයි නම් දුක්කට ඇවැත වේ. දෙවන පියවර ඉක්මවයි නම් නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
7. ඥාතියෙකු නොවන භික්ෂුණියක ලවා එළු ලොම් සෝදවන භික්ෂුව ඇවැත් දෙකකට පැමිණේ: සෝදවයි නම් ඒ උත්සාහයේදී දුක්කට ඇවැත වේ. සෝදවා අවසන් වූ කල නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.