10. කතාපත්තිවාරය
10. 1.
පාරාජික කාණ්ඩය
1. මෛථුනයෙහි (ලිංගික සංසර්ගයෙහි) යෙදීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: මෛථුනයෙහි යෙදීම නිසා ඇවැත් හතරකට පැමිණේ. දිරා නොගිය (ක්ෂය නොවූ) සිරුරක මෛථුනයෙහි යෙදේ නම් පාරාජික ඇවැත වේ. බොහෝ දුරට දිරා ගිය සිරුරක මෛථුනයෙහි යෙදේ නම් ථුල්ලච්චය ඇවැත වේ. විවර කළ මුඛයක, කොතැනකවත් නොගැටෙන සේ පුරුෂ ලිංගය ඇතුළු කරයි නම් දුක්කට ඇවැත වේ. ලාකඩයෙන් කළ නිමිත්තක නම් පාචිත්තිය ඇවැත වේ. මෛථුනයෙහි යෙදීම නිසා මේ ඇවැත් හතරට පැමිණේ.
2. අයිතිකරුවන් නුදුන් දෙයක් සොර සිතින් ගැනීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: අයිතිකරුවන් නුදුන් දෙයක් සොර සිතින් ගැනීම නිසා ඇවැත් තුනකට පැමිණේ. මාසක (එකල භාවිත වූ කාසි) පහක් හෝ මාසක පහකට වැඩි හෝ වටිනා, නුදුන් දෙයක් සොර සිතින් ගනී නම් පාරාජික ඇවැත වේ. මාසක එකකට වැඩි හෝ මාසක පහකට අඩු හෝ වටිනා, නුදුන් දෙයක් සොර සිතින් ගනී නම් ථුල්ලච්චය ඇවැත වේ. මාසක එකක් හෝ මාසක එකකට අඩු හෝ වටිනා, නුදුන් දෙයක් සොර සිතින් ගනී නම් දුක්කට ඇවැත වේ. නුදුන් දෙයක් ගැනීම නිසා මේ ඇවැත් තුනට පැමිණේ.
3. දැන දැනම මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කිරීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: දැන දැනම මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කිරීම නිසා ඇවැත් තුනකට පැමිණේ. “මෙහි වැටී මැරේවා” යි මිනිසෙකු අරමුණු කොට වළක් කපයි නම් දුක්කට ඇවැත වේ. ඔහු වැටුණු විට දුක් වේදනා ඇති වේ නම් ථුල්ලච්චය ඇවැත වේ. මැරේ නම් පාරාජික ඇවැත වේ. දැන දැනම මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කිරීම නිසා මේ ඇවැත් තුනට පැමිණේ.
4. තමා තුළ නැති, සැබෑ නොවන උතුරු මිනිස් දම් (සාමාන්‍ය මිනිසුන් ඉක්මවූ ගුණ) ඇතැයි කීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: නැති, සැබෑ නොවන උතුරු මිනිස් දම් ඇතැයි කීම නිසා ඇවැත් තුනකට පැමිණේ. පාපී ආශා ඇතිව, ඒ පාපී ආශාවට යටත් වූයේ, නැති, සැබෑ නොවන උතුරු මිනිස් දම් ඇතැයි කියයි නම් පාරාජික ඇවැත වේ. “ඔබගේ විහාරයෙහි යම් භික්ෂුවක් වාසය කරයි නම්, ඒ භික්ෂුව රහතන් වහන්සේ නමකි” යි කියන දේ තේරුම් ගන්නා කෙනෙකුට කියයි නම් ථුල්ලච්චය ඇවැත වේ. තේරුම් නොගන්නා කෙනෙකුට නම් දුක්කට ඇවැත වේ. තමා තුළ නැති, සැබෑ නොවන උතුරු මිනිස් දම් ඇතැයි කීම නිසා මේ ඇවැත් තුනට පැමිණේ.
පාරාජික හතර නිමි.
10. 2.
සඞ්ඝාදිසේස කාණ්ඩය ආදිය
1. උත්සාහයක් දරා ශුක්‍රය පිට කිරීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: උත්සාහයක් දරා ශුක්‍රය පිට කිරීම නිසා ඇවැත් තුනකට පැමිණේ: එය සිතා, උත්සාහ කරයි නම්, ශුක්‍රය පිට වේ නම් සඞ්ඝාදිසේස ඇවැත වේ. එය සිතා, උත්සාහ කරයි නම්, ශුක්‍රය පිට නොවේ නම් ථුල්ලච්චය ඇවැත වේ. ඒ සඳහා කරන උත්සාහයේදී දුක්කට ඇවැත වේ. උත්සාහයක් දරා ශුක්‍රය පිට කිරීම නිසා මේ ඇවැත් තුනට පැමිණේ.
2. කාය සංසර්ගයට (ශරීර ස්පර්ශයට) පැමිණීම නිසා ඇවැත් කීයකට පැමිණේද යත්: කාය සංසර්ගයට පැමිණීම නිසා ඇවැත් පහකට පැමිණේ: ශරීර ස්පර්ශය පිළිබඳ රාගයෙන් තෙත් වූ භික්ෂුණියක්, එබඳු රාගයෙන් තෙත් වූ පුරුෂයෙකු විසින් අකු ඇටයෙන් පහළ, දණහිසින් ඉහළ කොටස අල්ලා ගැනීම ඉවසයි නම් පාරාජික ඇවැත වේ. භික්ෂුවක් (තමාගේ) කයින් (කාන්තාවකගේ) කය ස්පර්ශ කරයි නම් සඞ්ඝාදිසේස ඇවැත වේ. කයින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් ථුල්ලච්චය ඇවැත වේ. කයට සම්බන්ධ දෙයකින් කයට සම්බන්ධ දෙයක් ස්පර්ශ කරයි නම් දුක්කට ඇවැත වේ. ඇඟිලිවලින් කිති කැවීමෙහි පාචිත්තිය ඇවැත වේ. කාය සංසර්ගයට පැමිණීම නිසා මේ ඇවැත් පහට පැමිණේ.
3. කාන්තාවකට අසභ්‍ය වචන කීම නිසා ඇවැත් තුනකට පැමිණේ: මළ මාර්ගය සහ මුත්‍රා මාර්ගය අරමුණු කොට ගුණද කියයි නම්, අගුණද කියයි නම් සඞ්ඝාදිසේස ඇවැත වේ. මළ මාර්ගය සහ මුත්‍රා මාර්ගය හැර, අකු ඇටයෙන් පහළ, දණහිසින් ඉහළ කොටස අරමුණු කොට ගුණද කියයි නම්, අගුණද කියයි නම් ථුල්ලච්චය ඇවැත වේ. කයට සම්බන්ධ දෙයක් අරමුණු කොට ගුණද කියයි නම්, අගුණද කියයි නම් දුක්කට ඇවැත වේ.
4. මෛථුනයෙන් තමාට සේවය කිරීමේ ගුණ කීම නිසා ඇවැත් තුනකට පැමිණේ: කාන්තාවක් ඉදිරියේ මෛථුනයෙන් තමාට සේවය කිරීමේ ගුණ කියයි නම් සඞ්ඝාදිසේස ඇවැත වේ. පණ්ඩකයෙකු (නපුංසකයෙකු) ඉදිරියේ මෛථුනයෙන් තමාට සේවය කිරීමේ ගුණ කියයි නම් ථුල්ලච්චය ඇවැත වේ. තිරිසනෙකු ඉදිරියේ මෛථුනයෙන් තමාට සේවය කිරීමේ ගුණ කියයි නම් දුක්කට ඇවැත වේ.
5. ස්ත්‍රී පුරුෂයන් අතර කාම සම්බන්ධතා පිළිබඳ පණිවිඩ ගෙන යන ‘සඤ්චරිත්තයෙහි’ යෙදීම නිසා ඇවැත් තුනකට පැමිණේ: පණිවිඩය භාරගනී නම්, විමසා බලයි නම්, ආපසු (පිළිතුර) ගෙන එයි නම් සඞ්ඝාදිසේස ඇවැත වේ. භාරගනී නම්, විමසා බලයි නම්, ආපසු ගෙන නොඑයි නම් ථුල්ලච්චය ඇවැත වේ. භාරගනී නම්, විමසා නොබලයි නම්, ආපසු ගෙන නොඑයි නම් දුක්කට ඇවැත වේ.
6. තමා ඉල්ලා ගත් දේවලින් කුටියක් කරවීම නිසා ඇවැත් තුනකට පැමිණේ: කරවයි නම්, ඒ සඳහා කරන උත්සාහයේදී දුක්කට ඇවැත වේ. (නිම කිරීමට) එක් මැටි පිඬක් ඉතිරිව තිබියදී ථුල්ලච්චය ඇවැත වේ. ඒ අවසන් මැටි පිඬ තැබූ විට සඞ්ඝාදිසේස ඇවැත වේ.
7. (කරවා දෙන අයිතිකරුවෙකු ඇති) මහත් විහාරයක් කරවීම නිසා ඇවැත් තුනකට පැමිණේ: කරවයි නම්, ඒ සඳහා කරන උත්සාහයේදී දුක්කට ඇවැත වේ. (නිම කිරීමට) එක් මැටි පිඬක් ඉතිරිව තිබියදී ථුල්ලච්චය ඇවැත වේ. ඒ අවසන් මැටි පිඬ තැබූ විට සඞ්ඝාදිසේස ඇවැත වේ.
8. පදනමක් නැති (අමූලක) පාරාජික ඇවැතකින් භික්ෂුවකට චෝදනා කිරීම නිසා ඇවැත් තුනකට පැමිණේ: අවසර නොගෙන, (භික්ෂු භාවයෙන්) ඉවත් කරවීමේ අදහසින් චෝදනා කරයි නම් සඞ්ඝාදිසේසය සමඟ දුක්කට ඇවැතද වේ. අවසර ගෙන, බැණ වදින අදහසින් චෝදනා කරයි නම් ඔමසවාද පාචිත්තිය ඇවැත (අපහාස කර කතා කිරීමේ ඇවැත) වේ.