5. 3. ඕවාද වර්ගය
1. භික්ෂුණීන්ට අවවාද කිරීමට සංඝයාගේ අනුමැතිය (භික්ඛුනෝවාදක සම්මුතිය) නොලබා භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂුවට අදාළ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික (හය නමකගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: අනුමැතිය නොලත් ෂඩ්වර්ගික භික්ෂූහු භික්ෂුණීන්ට අවවාද කළහ. ඒ කරුණ නිසා ය.
එහි පැනවීම, අනුපැනවීම (පසුව එකතු කළ පැනවීම), අනුප්පන්න පැනවීම (වරද සිදු වීමට පෙර ම කළ පැනවීම) තිබේ ද යත්: පැනවීම එකකි, අනුපැනවීම එකකි. අනුප්පන්න පැනවීමක් එහි නැත.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: සමහර විට වචනයෙන් හටගනී, කයෙන් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට වචනයෙන් ද සිතින් ද හටගනී, කයෙන් හට නොගනී. -පෙ-
2. හිරු බැස ගිය පසු භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂුවට අදාළ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් හිරු බැස ගිය පසු භික්ෂුණීන්ට අවවාද කළහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: පද වශයෙන් ධර්මය කීමේ ශික්ෂාපදයේ ඇවැත හටගන්නා ආකාරයට (පදසෝධම්ම සමුට්ඨානයට) අයත් ය. -පෙ-
3. භික්ෂුණීන් වසන ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂුවට අදාළ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: ශාක්‍ය ජනපදයේදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු භික්ෂුණීන් වසන ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද කළහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි, අනුපැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී. -පෙ- කඨින ශික්ෂාපදයේ ඇවැත හටගන්නා ආකාරයට (කඨින සමුට්ඨානයට) අයත් ය.
4. “භික්ෂූහු ලාභ ප්‍රයෝජන (ආමිස) නිසා භික්ෂුණීන්ට අවවාද කරති” යි කියන භික්ෂුවට අදාළ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු “භික්ෂූහු ලාභ ප්‍රයෝජන නිසා භික්ෂුණීන්ට අවවාද කරති” යි කීහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී: -පෙ-
5. නෑයෙකු නොවන භික්ෂුණියකට සිවුරක් දෙන භික්ෂුවට අදාළ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: එක්තරා භික්ෂුවක් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: එක්තරා භික්ෂුවක් නෑයෙකු නොවන භික්ෂුණියකට සිවුරක් දුන්නේය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි, අනුපැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හයෙන් ම හටගනී. -පෙ-
6. නෑයෙකු නොවන භික්ෂුණියක ලවා සිවුරක් මස්සවන භික්ෂුවට අදාළ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ආයුෂ්මත් උදායී භික්ෂුව අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ආයුෂ්මත් උදායී භික්ෂුව නෑයෙකු නොවන භික්ෂුණියක ලවා සිවුරක් මැස්සවීය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හයෙන් ම හටගනී. -පෙ-