4. 3.
1. අධිෂ්ඨාන නොකළ, විකප්ප නොකළ අතිරේක පාත්‍රයක් දින දහයක් ඉක්මවා තබා ගන්නා භික්ෂුවට අදාළ නිස්සග්ගිය පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික (හය නමකගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු (අධිෂ්ඨාන නොකළ, විකප්ප නොකළ) අතිරේක පාත්‍ර තබා ගත්හ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි. අනුපැනවීම (පසුව එකතු කළ පැනවීම) එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: සමහර විට කයෙන් ද වචනයෙන් ද හටගනී, සිතින් හට නොගනී. සමහර විට කයෙන් ද වචනයෙන් ද සිතින් ද හටගනී. -පෙ-
2. බැඳුම් පහකට අඩු පාත්‍රයක් තිබියදී වෙනත් අලුත් පාත්‍රයක් ඉල්ලා ගන්නා භික්ෂුවට අදාළ නිස්සග්ගිය පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: ශාක්‍ය ජනපදයේදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු පාත්‍රය මඳක් බිඳුණු පමණින් ද, මඳක් කැඩුණු පමණින් ද, ඉරි ගැසුණු පමණින් ද බොහෝ පාත්‍ර ඉල්ලා ගත්හ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හයෙන් ම හටගනී. -පෙ-
3. බෙහෙත් පිළිගෙන දින හතක් ඉක්මවා තබා ගන්නා භික්ෂුවට අදාළ නිස්සග්ගිය පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: බොහෝ භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: බොහෝ භික්ෂූහු බෙහෙත් පිළිගෙන දින හතක් ඉක්මවූහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර දෙකකින් හටගනී: කඨින ශික්ෂාපදයේ ඇවැත හටගන්නා ආකාරයට (කඨින සමුට්ඨානයට) අයත් ය. -පෙ-
4. ගිම්හාන සෘතුවේ මාස හතරෙන් මාසයකට වඩා ඉතිරිව තිබියදී වැසි සළු සිවුරක් සොයන භික්ෂුවට අදාළ නිස්සග්ගිය පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු ගිම්හාන සෘතුවේ මාස හතරෙන් මාසයකට වඩා ඉතිරිව තිබියදී වැසි සළු සිවුරු සෙවූහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හයෙන් ම හටගනී. -පෙ-
5. භික්ෂුවකට තමා ම සිවුරක් දී, පසුව කිපී නොසතුටු වී එය උදුරා ගන්නා භික්ෂුවට අදාළ නිස්සග්ගිය පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙරුන් භික්ෂුවකට තමා ම සිවුරක් දී, පසුව කිපී නොසතුටු වී එය උදුරා ගත්තේ ය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
6. තමා ම නූල් ඉල්ලා ගෙන රෙදි වියන්නන් ලවා සිවුරක් වියවා ගන්නා භික්ෂුවට අදාළ නිස්සග්ගිය පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: රජගහ නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු තමන් ම නූල් ඉල්ලා ගෙන රෙදි වියන්නන් ලවා සිවුරු වියවා ගත්හ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර හයෙන් ම හටගනී. -පෙ-