5. 3. 4.
වස්සිකසාටික ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට වැසි සළුව අනුදන්නා ලද්දේ වෙයි. ෂඩ්වර්ගික භික්ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් වැසි සළුව අනුදන්නා ලදැ”යි කලින්ම වැසි සළු සිවුරු සොයති, කලින්ම (සිවුර) නිම කොට හඳිති. වැසි සළුව දිරාගිය කල්හි නිරුවතින් කය වැස්සෙන් තෙමති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් නම්, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු කලින්ම වැසි සළු සිවුරු සොයන්නාහු ද, කලින්ම නිම කොට හඳින්නාහු ද, වැසි සළුව දිරාගිය කල්හි නිරුවතින් කය වැස්සෙන් තෙමන්නාහු ද?” යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, තෙපි කලින්ම වැසි සළු සිවුරු සොයන්නහු ය, කලින්ම නිම කොට හඳින්නහු ය, වැසි සළුව දිරාගිය කල්හි නිරුවතින් කය වැස්සෙන් තෙමන්නහු ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි කලින්ම වැසි සළු සිවුරු සොයන්නහු ද, කලින්ම නිම කොට හඳින්නහු ද, වැසි සළුව දිරාගිය කල්හි නිරුවතින් කය වැස්සෙන් තෙමන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු (ශ්‍රද්ධාව නැති) අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ගිම්හාන සෘතුවේ (වසට පෙර එන නියං සාර මාසයේ) මසක් ඉතිරිව ඇතැයි භික්ෂුව විසින් වැසි සළු සිවුර සෙවිය යුතුය. ගිම්හාන සෘතුවේ අඩ මසක් ඉතිරිව ඇතැයි (සිවුර) නිම කොට හැඳිය යුතුය. ඉදින් ගිම්හාන සෘතුවේ මසක් ඉතිරිව ඇති කාලයට පෙර වැසි සළු සිවුර සොයන්නේ නම්, ගිම්හාන සෘතුවේ අඩ මසක් ඉතිරිව ඇති කාලයට පෙර නිම කොට හඳින්නේ නම්, නිස්සග්ගිය පාචිත්තිය (අත්හළ යුතු භාණ්ඩය ඇති පාචිත්තිය) ඇවැත වේ.”
2. ගිම්හාන සෘතුවේ මසක් ඉතිරිව ඇතැයි භික්ෂුව විසින් වැසි සළු සිවුර සෙවිය යුතුය යනු: යම් මිනිස් කෙනෙක් පෙරත් වැසි සළු සිවුරු දෙත් ද, ඔවුන් වෙත එළඹ මෙසේ කිව යුතුය: “වැසි සළුවට කාලය යි, වැසි සළුවට සුදුසු කාලය යි, අන් මිනිස්සු ද වැසි සළු සිවුරු දෙති” යි. “මට වැසි සළු සිවුරක් දෙන්න, මට වැසි සළු සිවුරක් ගෙනෙන්න, මට වැසි සළු සිවුරක් මාරු කර දෙන්න, මට වැසි සළු සිවුරක් මිලට ගෙන දෙන්න” යි නොකිව යුතුය.
ගිම්හාන සෘතුවේ අඩ මසක් ඉතිරිව ඇතැයි නිම කොට හැඳිය යුතුය යනු: ගිම්හාන සෘතුවේ අඩ මසක් ඉතිරිව ඇති කල්හි නිම කොට හැඳිය යුතුය.
ඉදින් ගිම්හාන සෘතුවේ මසක් ඉතිරිව ඇති කාලයට පෙර යනු: ගිම්හාන සෘතුවේ මසකට වඩා ඉතිරිව ඇති කල්හි වැසි සළු සිවුර සොයයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
ගිම්හාන සෘතුවේ අඩ මසක් ඉතිරිව ඇති කාලයට පෙර යනු: ගිම්හාන සෘතුවේ අඩ මසකට වඩා ඉතිරිව ඇති කල්හි නිම කොට හඳියි නම්, (එය) අත්හළ යුතු (නිස්සග්ගිය) වේ. එය සංඝයාට හෝ පිරිසකට හෝ පුද්ගලයෙකුට හෝ අත්හළ යුතුය. මහණෙනි, මෙසේ අත්හළ යුතුය: “ස්වාමීනි, මගේ මේ වැසි සළු සිවුර ගිම්හාන සෘතුවේ මසකට වඩා ඉතිරිව ඇති කල්හි සොයන ලද්දේ, ගිම්හාන සෘතුවේ අඩ මසකට වඩා ඉතිරිව ඇති කල්හි නිම කොට හඳින ලද්දේ, අත්හළ යුතු වූයේ ය. මම මෙය සංඝයාට අත්හරිමි” -පෙ- දෙන්නේය -පෙ- දෙන්නාහුය -පෙ- “ආයුෂ්මතුන්ට දෙමි” යි.
3. ගිම්හාන සෘතුවේ මසකට වඩා ඉතිරිව ඇති කල්හි වැඩියැයි හඟින්නේ වැසි සළු සිවුර සොයයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ. ගිම්හාන සෘතුවේ මසකට වඩා ඉතිරිව ඇති කල්හි එහි සැක ඇත්තේ වැසි සළු සිවුර සොයයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ. ගිම්හාන සෘතුවේ මසකට වඩා ඉතිරිව ඇති කල්හි අඩුයැයි හඟින්නේ වැසි සළු සිවුර සොයයි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
4. ගිම්හාන සෘතුවේ අඩ මසකට වඩා ඉතිරිව ඇති කල්හි වැඩියැයි හඟින්නේ නිම කොට හඳියි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ. ගිම්හාන සෘතුවේ අඩ මසකට වඩා ඉතිරිව ඇති කල්හි එහි සැක ඇත්තේ නිම කොට හඳියි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ. ගිම්හාන සෘතුවේ අඩ මසකට වඩා ඉතිරිව ඇති කල්හි අඩුයැයි හඟින්නේ නිම කොට හඳියි නම්, නිස්සග්ගිය පාචිත්තිය ඇවැත වේ.
5. වැසි සළුව ඇති කල්හි නිරුවතින් කය වැස්සෙන් තෙමයි නම්, දුක්කට ඇවැත වේ. ගිම්හාන සෘතුවේ මසකට අඩුවෙන් ඉතිරිව ඇති කල්හි වැඩියැයි හඟින්නාට දුක්කට ඇවැත් වේ. ගිම්හාන සෘතුවේ මසකට අඩුවෙන් ඉතිරිව ඇති කල්හි එහි සැක ඇත්තාට දුක්කට ඇවැත් වේ. ගිම්හාන සෘතුවේ මසකට අඩුවෙන් ඉතිරිව ඇති කල්හි අඩුයැයි හඟින්නාට ඇවැත් නැත.
6. ගිම්හාන සෘතුවේ අඩ මසකට අඩුවෙන් ඉතිරිව ඇති කල්හි වැඩියැයි හඟින්නාට දුක්කට ඇවැත් වේ. ගිම්හාන සෘතුවේ අඩ මසකට අඩුවෙන් ඉතිරිව ඇති කල්හි එහි සැක ඇත්තාට දුක්කට ඇවැත් වේ. ගිම්හාන සෘතුවේ අඩ මසකට අඩුවෙන් ඉතිරිව ඇති කල්හි අඩුයැයි හඟින්නාට ඇවැත් නැත.