5. 2. 9.
රූපියසංවෝහාර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු නොයෙක් ආකාර රූපිය ගනුදෙනුවලට (රන් රිදී මසු කහවණු හුවමාරු කිරීමට) පැමිණෙති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කම් සැප විඳින ගිහියන් මෙන් නොයෙක් ආකාර රූපිය ගනුදෙනුවලට පැමිණෙත් ද?” යි. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කතාව භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු නොයෙක් ආකාර රූපිය ගනුදෙනුවලට පැමිණෙත් ද?” යි. ඉක්බිති ඒ භික්ෂූහු ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. -පෙ- “මහණෙනි, තෙපි නොයෙක් ආකාර රූපිය ගනුදෙනුවලට පැමිණෙන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි නොයෙක් ආකාර රූපිය ගනුදෙනුවලට පැමිණෙන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් නොයෙක් ආකාර රූපිය ගනුදෙනුවලට පැමිණේ නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ” යි.
2. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
නානප්පකාරක (නොයෙක් ආකාර) නම්: කළ දෙයද, නොකළ දෙයද, කළ නොකළ දෙයද වේ. කත (කළ දෙය) නම්: හිසෙහි පළඳින, ගෙලෙහි පළඳින, අතෙහි පළඳින, පාදයෙහි පළඳින, ඉඟටියෙහි පළඳින ආභරණයි. අකත (නොකළ දෙය) නම්: පිඬු කළ (අමු රන් ආදිය) කියනු ලැබේ. කතාකත (කළ නොකළ දෙය) නම්: ඒ දෙකමයි.
රූපිය නම්: රන්, කහවණු, ලෝහ මස්ස, දැව මස්ස, ලාකඩ මස්ස යන ගනුදෙනුවට යොදන යම් දේ වෙත් ද ඒවායි.
සමාපජ්ජෙය්ය යනු: කළ දෙයින් කළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. කළ දෙයින් නොකළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. කළ දෙයින් කළ නොකළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. නොකළ දෙයින් කළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. නොකළ දෙයින් නොකළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. නොකළ දෙයින් කළ නොකළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. කළ නොකළ දෙයින් කළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. කළ නොකළ දෙයින් නොකළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. කළ නොකළ දෙයින් කළ නොකළ දෙයක් මිලට ගනී නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. (එය) සංඝයා මැද අත්හළ යුතුය. මහණෙනි, මෙසේ අත්හළ යුතුය: ඒ භික්ෂුව සංඝයා වෙත එළඹ, උතුරු සළුව එක් උරයක් වසන සේ පොරවා, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව (දණහිස් බිම නොතබා පතුල් මත) හිඳ, ඇඳිලි බැඳ මෙසේ කිව යුතුය:
“ස්වාමීනි, මම නොයෙක් ආකාර රූපිය ගනුදෙනුවලට පැමිණියෙමි. මගේ මේ (රූපිය) අත්හළ යුතු (නිස්සග්ගිය) වේ. මම මෙය සංඝයාට අත්හරිමි” යි. අත්හැර ඇවැත දේශනා කළ යුතුය. දක්ෂ වූ, සමත් වූ භික්ෂුවක් විසින් ඇවැත පිළිගත යුතුය. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම්, ඔහුට “ඇවැත්නි, මෙය දැනගන්න” යි කිව යුතුය. ඉදින් හෙතෙමේ “මෙයින් කුමක් ගෙනෙන්නද?” යි කියයි නම්, “මෙය හෝ මෙය හෝ ගෙනෙන්න” යි නොකිව යුතුය. කැප දෙයක් කිව යුතුය: ගිතෙල් හෝ තෙල් හෝ මී පැණි හෝ උක් සකුරු හෝ ය. ඉදින් හෙතෙමේ එයින් හුවමාරු කොට කැප දෙයක් ගෙනේ නම්, රූපියයෙන් මිලට ගත් භික්ෂුව හැර සියල්ලන් විසින්ම පරිභෝග කළ යුතුය. මෙසේ මෙය ලැබේ නම් එය මැනවි. ඉදින් නොලැබේ නම්, ඔහුට “ඇවැත්නි, මෙය ඉවත දමන්න” යි කිව යුතුය. ඉදින් හෙතෙමේ ඉවත දමයි නම්, එය මැනවි. ඉදින් ඉවත නොදමයි නම්, කරුණු පහකින් යුක්ත භික්ෂුවක් රූපිය ඡඩ්ඩක (රූපිය ඉවත දමන්නා) ලෙස සම්මත කළ යුතුය: යමෙක් කැමැත්ත නිසා අගතියට නොයයි ද, ද්වේෂය නිසා අගතියට නොයයි ද, මුළාව නිසා අගතියට නොයයි ද, බිය නිසා අගතියට නොයයි ද, ඉවත දැමූ දේ හා ඉවත නොදැමූ දේ දනියි ද, (එබඳු කෙනෙකි). මහණෙනි, මෙසේ සම්මත කළ යුතුය: පළමුව භික්ෂුවගෙන් ඉල්ලිය යුතුය. ඉල්ලා දක්ෂ වූ, සමත් වූ භික්ෂුවක් විසින් සංඝයාට දැනුම් දිය යුතුය:
“ස්වාමීනි, සංඝයා මා කියන දෙයට සවන් දේවා. ඉදින් සංඝයාට සුදුසු කල් පැමිණ ඇත්තේ නම්, සංඝයා මෙනම් ඇති භික්ෂුව රූපිය ඡඩ්ඩක ලෙස සම්මත කරන්නේය. මෙය ඤත්තියයි.
“ස්වාමීනි, සංඝයා මා කියන දෙයට සවන් දේවා. සංඝයා මෙනම් ඇති භික්ෂුව රූපිය ඡඩ්ඩක ලෙස සම්මත කරයි. මෙනම් ඇති භික්ෂුව රූපිය ඡඩ්ඩක ලෙස සම්මත කිරීම යම් ආයුෂ්මතෙකුට කැමති වේ නම්, ඔහු නිශ්ශබ්ද වන්නේය. යමෙකුට කැමති නොවේ නම්, ඔහු කියන්නේය.
“සංඝයා විසින් මෙනම් ඇති භික්ෂුව රූපිය ඡඩ්ඩක ලෙස සම්මත කරන ලදී. සංඝයාට එය කැමති වෙයි. එහෙයින් නිශ්ශබ්ද වෙයි. මෙය මෙසේ දරමි” යි.
3. සම්මත කරන ලද ඒ භික්ෂුව විසින් සලකුණු නොකොට ඉවත දැමිය යුතුය. ඉදින් සලකුණු කොට ඉවත දමයි නම්, දුක්කට ඇවැත් වේ.