5. 1. 7.
තතුත්තරි ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු සිවුරු පැහැර ගනු ලැබූ භික්ෂූන් වෙත එළඹ මෙසේ කියති: “ඇවැත්නි, සිවුරු පැහැර ගනු ලැබූ හෝ සිවුරු නැති වූ හෝ භික්ෂුවකට නෑයෙකු නොවන ගෘහපතියෙකුගෙන් හෝ ගෘහපතිනියකගෙන් හෝ සිවුරක් ඉල්ලීමට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදී. ඇවැත්නි, සිවුරු ඉල්ලන්න.” “ඇවැත්නි, කම් නැත. අප විසින් සිවුරු ලබන ලදී.” “අපි ආයුෂ්මතුන් සඳහා ඉල්ලන්නෙමු.” “ඇවැත්නි, ඉල්ලන්න.” ඉක්බිති ෂඩ්වර්ගික භික්ෂූහු නෑයන් නොවන ගෘහපතියන් වෙත එළඹ “ඇවැත්නි, සිවුරු පැහැර ගනු ලැබූ භික්ෂූහු පැමිණ සිටිති. ඔවුනට සිවුරු දෙන්න” යැයි මෙසේ කියා බොහෝ සිවුරු ඉල්ලූහ.
2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් සභා ශාලාවෙහි හුන්නේ එක්තරා පුරුෂයෙකුට මෙසේ කීය: “ආර්යයෙනි, සිවුරු පැහැර ගනු ලැබූ භික්ෂූහු පැමිණියහ. මා විසින් ඔවුනට සිවුරක් දෙන ලදී.” ඔහු ද මෙසේ කීය: “මා විසින් ද දෙන ලදී.” තවත් කෙනෙක් ද මෙසේ කීය: “මා විසින් ද දෙන ලදී.” ඔවුහු දොස් කියති, නින්දා කරති, අගුණ පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ පමණ නොදැන බොහෝ සිවුරු ඉල්ලන්නාහු ද? ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ රෙදි වෙළඳාමක් හෝ කරන්නාහු ද? රෙදි කඩයක් හෝ විවෘත කරන්නාහු ද?” දොස් කියන, නින්දා කරන, අගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු දොස් කියති, නින්දා කරති, අගුණ පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු පමණ නොදැන බොහෝ සිවුරු ඉල්ලන්නාහු ද?” ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
3. “මහණෙනි, තෙපි පමණ නොදැන බොහෝ සිවුරු ඉල්ලූ බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්හා කළ සේක: “හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි පමණ නොදැන බොහෝ සිවුරු ඉල්ලන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ඉදින් නෑයෙකු නොවන ගෘහපතියෙක් හෝ ගෘහපතිනියක් හෝ ඒ (සිවුරු පැහැර ගනු ලැබූ) භික්ෂුවට කැමති තරම් ගන්නැයි බොහෝ සිවුරු ගෙනවුත් පවරන්නේ නම් (ආරාධනා කරන්නේ නම්), ඒ භික්ෂුව විසින් එයින් අඳනය සහ උතුරුසළුව උපරිම කොට ඇති සිවුරු පමණක් පිළිගත යුතුය. ඉදින් එයට වඩා පිළිගන්නේ නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ.”
4. තඤ්චෙ යනු: සිවුරු පැහැර ගනු ලැබූ භික්ෂුවට ය.
අඤ්ඤාතක නම්: මව් පසින් හෝ පිය පසින් හෝ සත්වන මුතුන් මිත්තන් පරම්පරාව දක්වා ලේ නෑකමින් සම්බන්ධ නොවූවෙකි.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහි ගෙයි වාසය කරයි ද, ඔහුය.
ගහපතානී නම්: යම් කිසි ස්ත්‍රියක් ගිහි ගෙයි වාසය කරයි ද, ඇයය.
බහූහි චීවරෙහි යනු: බොහෝ සිවුරු වලින්.
අභිහට්ඨුං පවාරෙය්ය යනු: “යම් තරමක් කැමති නම් ඒ තරම් ගන්න” යනුයි.
සන්තරුත්තරපරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බං යනු: ඉදින් සිවුරු තුනම නැති වී නම් දෙකක් පිළිගත යුතුය. දෙකක් නැති වී නම් එකක් පිළිගත යුතුය. එකක් නැති වී නම් කිසිවක් පිළිනොගත යුතුය.
තතො චෙ උත්තරිං සාදියෙය්ය යනු: එයට වඩා ඉල්ලයි නම්, ඉල්ලීමේ උත්සාහයෙහි (ප්‍රයෝගයෙහි) දුක්කට ඇවැත වේ. ලැබීමෙන් එය අත්හළ යුතු (නිස්සග්ගිය) වේ. එය සංඝයාට හෝ පිරිසකට හෝ පුද්ගලයෙකුට හෝ අත්හළ යුතුය. මහණෙනි, මෙසේ අත්හළ යුතුය:
“ස්වාමීනි, නෑයෙකු නොවන ගෘහපතියෙකුගෙන් පමණට වඩා ඉල්ලූ මාගේ මේ සිවුර අත්හළ යුතු (නිස්සග්ගිය) වූයේය. මම මෙය සංඝයාට අත්හරිමි.” -පෙ- දෙන්නේ ය -පෙ- දෙන්නාහු ය -පෙ- “ආයුෂ්මතුන්ට දෙමි.”
5. නෑයෙකු නොවන්නෙකු කෙරෙහි නෑයෙකු නොවේ යන හැඟීම ඇතිව පමණට වඩා සිවුරු ඉල්ලයි නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. නෑයෙකු නොවන්නෙකු කෙරෙහි සැක ඇතිව පමණට වඩා සිවුරු ඉල්ලයි නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. නෑයෙකු නොවන්නෙකු කෙරෙහි නෑයෙකු යන හැඟීම ඇතිව පමණට වඩා සිවුරු ඉල්ලයි නම්, නිස්සග්ගිය පාචිත්තිය වේ. නෑයෙකු කෙරෙහි නෑයෙකු නොවේ යන හැඟීම ඇත්තහුට දුක්කට ඇවැත් වේ. නෑයෙකු කෙරෙහි සැක ඇත්තහුට දුක්කට ඇවැත් වේ. නෑයෙකු කෙරෙහි නෑයෙකු යන හැඟීම ඇත්තහුට ඇවැත් නැත.
6. “ඉතිරිය (නැවත) ගෙන එන්නෙමි” යි ගෙන යයි නම්, “ඉතිරිය ඔබටම වේවා” යි දෙත් නම්, සිවුරු පැහැර ගත් නිසා නොව (බහුශ්‍රුත බව ආදී ගුණ නිසා) දෙත් නම්, සිවුරු නැති වූ නිසා නොව දෙත් නම්, නෑයන් දෙන විට පිළිගන්නාට, පවාරණය කළ අය දෙන විට පිළිගන්නාට, තමාගේ ධනයෙන් ලබා ගන්නාට, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තතුත්තරි ශික්ෂාපදය නිමි.