4. 1.
පළමු අනියත ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ සැවැත් නුවර දායක පවුල් කරා යන එන (කුලූපග) භික්ෂුවක් වූහ; බොහෝ ගෙවල් කරා එළඹෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේගේ උපස්ථායක පවුලක කුමරියක් එක්තරා පවුලක කුමරුවෙකුට (විවාහයෙන්) දෙන ලද්දී වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ඒ පවුල වෙත එළඹියහ. එළඹ “මෙනම් ඇති කුමරිය කොහි ද?” යි මිනිසුන්ගෙන් විචාළහ. “ස්වාමීනි, ඇය අසවල් පවුලේ කුමරුවෙකුට දෙන ලදී” යි (ඔවුහු කීහ).
2. ඒ පවුල ද ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේගේ උපස්ථායක පවුලක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ පවුල වෙත එළඹියහ. එළඹ “මෙනම් ඇති කුමරිය කොහි ද?” යි මිනිසුන්ගෙන් විචාළහ. “ආර්යයන් වහන්ස, ඇය ඇතුළු කාමරයෙහි හිඳියි” යි (ඔවුහු කීහ). ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ කුමරිය වෙත එළඹියහ. එළඹ තනිව සිටි ඒ කුමරිය සමඟ තනිවම රහසිගතව, වැසුණු, (මෛථුන ධර්මය සේවනයට) සුදුසු ආසනයක, කල් සලකා (ගිහි කතා) කතාබහ කරමින්, කල් සලකා ධර්මය කියමින් හිඳ ගත්හ.
3. එසමයෙහි විසාඛා මිගාරමාතාව බොහෝ දූ පුතුන් ඇත්තී, බොහෝ මුණුබුරු මිණිබිරියන් ඇත්තී, නීරෝගී දූ පුතුන් ඇත්තී, නීරෝගී මුණුබුරු මිණිබිරියන් ඇත්තී, උතුම් මංගල සම්පන්න තැනැත්තියක ලෙස සම්මත වූවා වෙයි. මිනිස්සු දාන ප්‍රදානයන්හි, (ආවාහ විවාහ මංගල ආදී) කුඩා උත්සවයන්හි, (ඇසළ, පවාරණ, නැකත් ආදී) මහා උත්සවයන්හි විසාඛා මිගාරමාතාවට පළමුව ආහාර දෙති. ඉක්බිති විසාඛා මිගාරමාතාව ආරාධනා ලැබ ඒ පවුලට ගියාය. විසාඛා මිගාරමාතාව තනිව සිටි ඒ කුමරිය සමඟ තනිවම රහසිගතව, වැසුණු, (මෛථුනයට) සුදුසු ආසනයක හිඳ සිටි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ දුටුවාය. දැක ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේට මෙය කීවාය:
“ස්වාමීනි, ආර්යයන් වහන්සේ ස්ත්‍රියක සමඟ තනිවම රහසිගතව, වැසුණු, (මෛථුනයට) සුදුසු ආසනයක හිඳ ගන්නා යමක් වේ ද, මෙය නොමනා ය, නුසුදුසු ය. ස්වාමීනි, ආර්යයන් වහන්සේට ඒ (මෛථුන) ධර්මයෙන් ප්‍රයෝජනයක් නැති වුව ද, නොපැහැදුණු මිනිසුන් (එය) විශ්වාස කරවීම දුෂ්කර ය.”
4. විසාඛා මිගාරමාතාව විසින් මෙසේ කියනු ලැබුව ද ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ (ඇගේ වචනය) නොපිළිගත්හ. ඉක්බිති විසාඛා මිගාරමාතාව නික්ම ගොස් භික්ෂූන්ට මේ කරුණ දැන්වූවාය. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වහන්සේලා වූහු ද, ඔවුහු දොස් කියති, නින්දා කරති, අගුණ පතුරුවති: “ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ කෙසේ නම් ස්ත්‍රියක සමඟ තනිවම රහසිගතව, වැසුණු, (මෛථුනයට) සුදුසු ආසනයක හිඳ ගනිත් ද” යි.
5. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “උදායී, ඔබ ස්ත්‍රියක සමඟ තනිවම රහසිගතව, වැසුණු, (මෛථුනයට) සුදුසු ආසනයක හිඳ ගත්තෙහි ය යනු සත්‍යය ද?” (යි විචාළ සේක). “භාග්‍යවතුන් වහන්ස, සත්‍යයකි.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්හා කළ සේක: “හිස් පුරුෂය, ඔබ කෙසේ නම් ස්ත්‍රියක සමඟ තනිවම රහසිගතව, වැසුණු, (මෛථුනයට) සුදුසු ආසනයක හිඳ ගන්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් ස්ත්‍රියක සමඟ තනිවම රහසිගතව, වැසුණු, (මෛථුන ධර්මය සේවනයට) සුදුසු ආසනයක හිඳ ගන්නේ නම්, විශ්වාස කළ යුතු වචන ඇති උපාසිකාවක් ඔහු දැක පාරාජිකා ඇවැතින් හෝ සංඝාදිසේස ඇවැතින් හෝ පාචිත්තිය ඇවැතින් හෝ යන ඇවැත් තුනෙන් එකකින් (චෝදනා කොට) කියන්නී නම්, හිඳීම පිළිගන්නා භික්ෂුව පාරාජිකා ඇවැතින් හෝ සංඝාදිසේස ඇවැතින් හෝ පාචිත්තිය ඇවැතින් හෝ යන ඇවැත් තුනෙන් එකකින් වරදකරු කළ යුතුය. නැතහොත් විශ්වාස කළ යුතු වචන ඇති ඒ උපාසිකාව යම් ඇවැතකින් (විනය වරදකින්) කියන්නී නම්, ඒ භික්ෂුව ඒ ඇවැතින් වරදකරු කළ යුතුය. මේ ඇවැත අනියත (නියම නොවූ) ය.”
6. යො පන යනු: යමෙක්, යම්බඳු කෙනෙක් -පෙ-
භික්ෂුව යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යැයි අදහස් කරන ලද්දේ මොහුය.
මාතුගාම (ස්ත්‍රිය) නම්: මිනිස් ස්ත්‍රියයි. යක්ෂණියක් නොවේ. ප්‍රේතියක් නොවේ. තිරිසන් ගැහැනු සතෙක් නොවේ. අඩුම තරමින් එදින උපන් දැරියක ද (ස්ත්‍රියකි), වැඩිහිටි ස්ත්‍රියක ගැන කියනුම කවරේ ද?
සද්ධිං යනු: එක්ව.
එකො එකාය යනු: භික්ෂුවක් ද ස්ත්‍රියක් ද වෙයි.
රහො (රහස) නම්: ඇසට රහස, කනට රහස. ඇසට රහස නම්: ඇස් ඉඟි කරන කල හෝ බැම ඔසවන කල හෝ හිස ඔසවන කල හෝ දැකිය නොහැකි වෙයි. කනට රහස නම්: සාමාන්‍ය කතාව ඇසිය නොහැකි වෙයි.
පටිච්ඡන්න (වැසුණු) නම්: ආසනය බිත්තියකින් හෝ දොර පියනකින් හෝ පැදුරකින් හෝ තිර රෙදි වැටකින් හෝ ගසකින් හෝ කණුවකින් හෝ කොත්ථලියකින් (ධාන්‍ය බහාලන ලොකු බඳුනකින්) හෝ යම් කිසිවකින් වැසුණේ වෙයි.
අලංකම්මනියෙ (සුදුසු) යනු: මෛථුන ධර්මය (ලිංගික සංසර්ගය) සේවනය කිරීමට හැකි වෙයි.
නිසජ්ජං කප්පෙය්ය (හිඳ ගන්නේ නම්) යනු: ස්ත්‍රිය හිඳ සිටින කල භික්ෂුව ළඟට ගොස් හිඳින්නේ හෝ ළඟට ගොස් වැතිරෙන්නේ හෝ වෙයි. භික්ෂුව හිඳ සිටින කල ස්ත්‍රිය ළඟට ගොස් හිඳින්නී හෝ ළඟට ගොස් වැතිරෙන්නී හෝ වෙයි. නැතහොත් දෙදෙනාම හුන්නාහු වෙති, නැතහොත් දෙදෙනාම වැතිරුණාහු වෙති.
සද්ධෙය්යවචසා (විශ්වාස කළ යුතු වචන ඇත්තී) නම්: (සෝවාන්) ඵලයට පැමිණි, චතුරාර්ය සත්‍යය අවබෝධ කළ, (ශික්ෂා තුනෙන් යුත්) ශාසනය දැනගත් තැනැත්තියයි.