2. 4.
සතරවන පාරාජිකාව
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේසාලි නුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එසමයෙහි එකිනෙකා දුටු, එකිනෙකා කෙරෙහි මිත්‍ර වූ බොහෝ භික්ෂූන් වහන්සේලා වග්ගුමුදා නම් ගඟ තෙර වස් එළඹියහ. එසමයෙහි වජ්ජි රට දුර්භික්ෂ (සාගතයෙන් පෙළුණේ) විය. (ජීවත් වෙමු ද නැද්ද යන) දෙපරිදි අදහස් ඇති විය. (මළවුන්ගේ) සුදු ඇට විසිරී තිබුණේ (නොහොත් ‘සේතට්ඨිකා’ නම් ගොයම් රෝගයෙන් පෙළුණේ) විය. වැපුරූ ධාන්‍ය හිරටු පමණක් විය. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නොවීය.
2. ඉක්බිති ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් විය: “දැන් වජ්ජි රට දුර්භික්ෂ වෙයි. (ජීවත් වෙමු ද නැද්ද යන) දෙපරිදි අදහස් ඇත්තේ වෙයි. (මළවුන්ගේ) සුදු ඇට විසිරී තිබෙන්නේ (නොහොත් ‘සේතට්ඨිකා’ නම් ගොයම් රෝගයෙන් පෙළුණේ) වෙයි. වැපුරූ ධාන්‍ය හිරටු පමණක් වෙයි. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නොවෙයි. අපි කවර උපායකින් සමගි වූවෝ, සතුටු වූවෝ, විවාද නොකරන්නෝ පහසු සේ වස් වසන්නමු ද, පිණ්ඩපාතය නිසා වෙහෙස නොවන්නමු ද?”
3. ඇතැම් භික්ෂූහු මෙසේ කීහ: “ඇවැත්නි, අපි ගිහියන්ගේ වැඩ කටයුතු සංවිධානය කරමු (‘මෙසේ කළ යුතුය, මෙසේ නොකළ යුතුය’ යි කියා දී අනුශාසනා කරමු). එසේ කළ කල්හි ඔව්හු අපට දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමගි වූවෝ, සතුටු වූවෝ, විවාද නොකරන්නෝ පහසු සේ වස් වසන්නෙමු. පිණ්ඩපාතය නිසා වෙහෙස ද නොවන්නෙමු.”
4. ඇතැම් භික්ෂූහු මෙසේ කීහ: “ඇවැත්නි, එය කම් නැත. ගිහියන්ගේ වැඩ කටයුතු සංවිධානය කිරීමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියන්ගේ පණිවුඩ ගෙන යන්නමු (දූත කටයුතු කරමු). එසේ කළ කල්හි ඔව්හු අපට දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමගි වූවෝ, සතුටු වූවෝ, විවාද නොකරන්නෝ පහසු සේ වස් වසන්නෙමු. පිණ්ඩපාතය නිසා වෙහෙස ද නොවන්නෙමු.”
5. ඇතැම් භික්ෂූහු මෙසේ කීහ: “ඇවැත්නි, එය කම් නැත. ගිහියන්ගේ වැඩ කටයුතු සංවිධානය කිරීමෙන් කිම? ගිහියන්ගේ පණිවුඩ ගෙන යාමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියන්ට එකිනෙකාගේ උතුරු මිනිස් දම් (මිනිස් බව ඉක්මවූ ධ්‍යාන, මාර්ග ඵල ආදී උසස් ගුණ) ගැන ගුණ කියමු: ‘අසවල් භික්ෂුව පළමුවන ධ්‍යානය ලැබූවෙකි. අසවල් භික්ෂුව දෙවන ධ්‍යානය ලැබූවෙකි. අසවල් භික්ෂුව තුන්වන ධ්‍යානය ලැබූවෙකි. අසවල් භික්ෂුව සතරවන ධ්‍යානය ලැබූවෙකි. අසවල් භික්ෂුව සෝවාන් ය. අසවල් භික්ෂුව සකෘදාගාමී ය. අසවල් භික්ෂුව අනාගාමී ය. අසවල් භික්ෂුව රහත් ය. අසවල් භික්ෂුව ත්‍රිවිද්‍යා ඇත්තෙකි. අසවල් භික්ෂුව ෂඩභිඥා (අභිඥා හය) ඇත්තෙකි’ යි. එසේ කළ කල්හි ඔව්හු අපට දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමගි වූවෝ, සතුටු වූවෝ, විවාද නොකරන්නෝ පහසු සේ වස් වසන්නෙමු. පිණ්ඩපාතය නිසා වෙහෙස ද නොවන්නෙමු.” “ඇවැත්නි, අප විසින් ගිහියන්ට එකිනෙකාගේ උතුරු මිනිස් දම් ගැන යම් ගුණයක් කියනු ලබන්නේ ද, එයම ශ්‍රේෂ්ඨය.”
6. ඉක්බිති ඒ භික්ෂූහු ගිහියන්ට එකිනෙකාගේ උතුරු මිනිස් දම් ගැන ගුණ කීහ: “අසවල් භික්ෂුව පළමුවන ධ්‍යානය ලැබූවෙකි -පෙ- අසවල් භික්ෂුව ෂඩභිඥා ඇත්තෙකි.”
7. ඉක්බිති ඒ මිනිස්සු “අපට ලාභයකි. අපට මනා ලැබීමකි. මෙබඳු භික්ෂූන් වහන්සේලා අප වෙත වස් එළඹියහ. මේ භික්ෂූන් වහන්සේලා යම් සේ සිල්වත් ද, කල්‍යාණ ගුණ ඇත්තෝ ද, මෙබඳු භික්ෂූන් වහන්සේලා මින් පෙර කිසි කලෙක අප වෙත වස් නොඑළඹියහ” යි (සිතූහ). ඔව්හු භික්ෂූන්ට යම්බඳු භෝජන දෙත් ද, එබඳු භෝජන තමන් නොකති. මවුපියන්ට නොදෙති. අඹුදරුවන්ට නොදෙති. දාස කම්කරු සේවකයන්ට නොදෙති. මිත්‍ර අමාත්‍යයන්ට නොදෙති. සහලේ නෑයන්ට නොදෙති. භික්ෂූන්ට යම්බඳු කෑ යුතු දෑ -පෙ- රස විඳිය යුතු දෑ -පෙ- පාන දෙත් ද, එබඳු පාන තමන් නොබොති. මවුපියන්ට නොදෙති. අඹුදරුවන්ට නොදෙති. දාස කම්කරු සේවකයන්ට නොදෙති. මිත්‍ර අමාත්‍යයන්ට නොදෙති. සහලේ නෑයන්ට නොදෙති. ඉක්බිති ඒ භික්ෂූහු (අලුත් සිරුරු පැහැයක් උපන්) පැහැපත් අය වූහ. පිනා ගිය ඉඳුරන් ඇත්තෝ වූහ. පහන් මුහුණු පැහැ ඇත්තෝ වූහ. ඉතා පහන් සිවි (සම) පැහැ ඇත්තෝ වූහ.
8. වස් විසූ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා පැමිණීම සිරිතකි. ඉක්බිති වස් විසූ ඒ භික්ෂූහු තෙමසක් ඇවෑමෙන් සේනාසන තැන්පත් කොට පාසිවුරු ගෙන වේසාලිය බලා පිටත් වූහ. පිළිවෙළින් වේසාලියෙහි මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳගත්හ.
9. එසමයෙහි නොයෙක් දිශාවල වස් විසූ භික්ෂූහු කෙට්ටු වූවෝ, රළු වූවෝ, දුර්වර්ණ වූවෝ, සුදුමැලි පඬු පැහැ ගත්තෝ, නහර ඉල්පී පෙනෙන සිරුරු ඇත්තෝ වෙති. වග්ගුමුදා ගඟ තෙර වස් විසූ භික්ෂූහු වනාහි පැහැපත් වූවෝ, පිනා ගිය ඉඳුරන් ඇත්තෝ, පහන් මුහුණු පැහැ ඇත්තෝ, ඉතා පහන් සිවි පැහැ ඇත්තෝ වෙති. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කථා කිරීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ සිරිතකි.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා ගඟ තෙර වැසි භික්ෂූන්ට මෙසේ වදාළ සේක: “මහණෙනි, (මේ සිරුර) ඉවසිය හැකි ද? යැපිය හැකි ද? සමගි වූවෝ, සතුටු වූවෝ, විවාද නොකරන්නෝ පහසු සේ වස් විසුවහු ද? පිණ්ඩපාතය නිසා වෙහෙස නොවූවහු ද?” “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකිය. ස්වාමීනි, අපි සමගි වූවෝ, සතුටු වූවෝ, විවාද නොකරන්නෝ පහසු සේ වස් විසීමු. පිණ්ඩපාතය නිසා වෙහෙස නොවීමු.” තථාගතයන් වහන්සේලා දැන දැනත් විචාරති. දැන දැනත් නොවිචාරති. සුදුසු කාලය දැන විචාරති. සුදුසු කාලය දැන නොවිචාරති. තථාගතයන් වහන්සේලා අර්ථයෙන් යුක්ත දෙයක්ම විචාරති. අනර්ථයෙන් යුක්ත දෙයක් නොවිචාරති. අනර්ථයෙන් යුක්ත දෙයක් (විචාරීමට) ඇති හේතුව තථාගතයන් වහන්සේලා විසින් (මාර්ග ඥානයෙන්) නසන ලද්දේ ය.