4. 7. 2.
දෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ භික්ෂුණීන් කිරි පොවන මවක උපසම්පදා කරවති. ඇය පිඬු පිණිස හැසිරෙයි. මිනිසුන් මෙසේ කීහ: “ආර්යාවට පිඬු දෙන්න, ආර්යාව දෙවැන්නකු (දරුවකු) සහිත ය.” මිනිසුන් හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීන් කිරි පොවන මවක උපසම්පදා කරවන්නාහු ද?” හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂුණීන්ට ඇසුණි. යම් ඒ භික්ෂුණීන් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීන් කිරි පොවන මවක උපසම්පදා කරවන්නාහු ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණීන් කිරි පොවන මවක උපසම්පදා කරවන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීන් කිරි පොවන මවක උපසම්පදා කරවන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් කිරි පොවන මවක (දරුවකුට මව්කිරි පොවන තැනැත්තියක) උපසම්පදා කරවන්නී නම්, පාචිත්තිය ඇවැත් වේ.”
2. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
පායන්තී (කිරි පොවන්නී) නම්: මව හෝ වේ, කිරිමව හෝ වේ.
වුට්ඨාපෙය්ය: උපසම්පදා කරවයි.
උපසම්පදා කරවන්නෙමි යි භික්ෂුණී පිරිසක් හෝ ආචාර්ය භික්ෂුණියක් හෝ පාත්‍රයක් හෝ සිවුරක් හෝ සොයයි නම්, සීමාවක් හෝ සම්මත කරයි නම් දුක්කට ඇවැත් වේ. ඤත්තියෙන් (සංඝයාට කරන යෝජනාවෙන්) දුක්කට ඇවැත් වේ. කර්ම වාක්‍ය දෙකෙන් දුක්කට ඇවැත් දෙකක් වේ. කර්ම වාක්‍යය අවසන් වූ විට උපාධ්‍යාය භික්ෂුණියට පාචිත්තිය ඇවැත් වේ. භික්ෂුණී පිරිසට ද ආචාර්ය භික්ෂුණියට ද දුක්කට ඇවැත් වේ.
කිරි පොවන මවක කෙරෙහි කිරි පොවන්නියක යැයි හැඟීම ඇතිව උපසම්පදා කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ. කිරි පොවන මවක කෙරෙහි සැකයෙන් යුතුව උපසම්පදා කරවයි නම් දුක්කට ඇවැත් වේ. කිරි පොවන මවක කෙරෙහි කිරි නොපොවන්නියක යැයි හැඟීම ඇතිව උපසම්පදා කරවයි නම් ඇවැත් නැත.
කිරි නොපොවන්නියක කෙරෙහි කිරි පොවන්නියක යැයි හැඟීම ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. කිරි නොපොවන්නියක කෙරෙහි සැකයෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. කිරි නොපොවන්නියක කෙරෙහි කිරි නොපොවන්නියක යැයි හැඟීම ඇත්තේ නම් ඇවැත් නැත.
ඇවැත් නැත: කිරි පොවන මවක, කිරි නොපොවන්නියක යැයි හැඟීම ඇතිව උපසම්පදා කරවයි නම්, කිරි නොපොවන්නියක, කිරි නොපොවන්නියක යැයි හැඟීම ඇතිව උපසම්පදා කරවයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය යි.
4. 7. 3.
තෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල භික්ෂුණීහු ධර්ම හයෙහි (ශික්ෂාපද හයෙහි) අවුරුදු දෙකක් ශික්ෂාවෙහි නොහික්මුණු සික්ඛමානාවක් (උපසම්පදාවට පෙර හික්මෙන සාමණේරියක්) උපසම්පදා කරවති. ඇය අඥාන වූවා ය, අදක්ෂ වූවා ය. කැප දෙය හෝ නොකැප දෙය හෝ නොදනී. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු ධර්ම හයෙහි අවුරුදු දෙකක් ශික්ෂාවෙහි නොහික්මුණු සික්ඛමානාවක් උපසම්පදා කරවන්නාහු ද?” කියා. -පෙ- “මහණෙනි, භික්ෂුණීහු ධර්ම හයෙහි අවුරුදු දෙකක් ශික්ෂාවෙහි නොහික්මුණු සික්ඛමානාවක් උපසම්පදා කරවති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු ධර්ම හයෙහි අවුරුදු දෙකක් ශික්ෂාවෙහි නොහික්මුණු සික්ඛමානාවක් උපසම්පදා කරවන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ-” යි ගරහා -පෙ- ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, සික්ඛමානාවට ධර්ම හයෙහි අවුරුදු දෙකක් හික්මීම සඳහා ශික්ෂා සම්මුතිය (සංඝයා දෙන අවසරය) දෙන්නට අනුමත කරමි. මහණෙනි, එය මෙසේ දිය යුතු ය. ඒ සික්ඛමානාව සංඝයා වෙත ගොස්, උතුරු සිවුර එක් උරහිසක් වැසෙන සේ පොරවා, භික්ෂුණීන්ගේ පා වැඳ, උක්කුටිකයෙන් (දණහිස් බිම නොතබා පතුල් මත) හිඳ, ඇඳිලි බැඳ මෙසේ කිව යුතු ය: ‘ආර්යාවෙනි, අසවල් නම් ඇති ආර්යාවගේ සික්ඛමානාව වූ අසවල් නම් ඇති මම, ධර්ම හයෙහි අවුරුදු දෙකක් හික්මීම සඳහා ශික්ෂා සම්මුතිය සංඝයාගෙන් ඉල්ලමි.’ දෙවන වරටත් ඉල්ලිය යුතු ය. තෙවන වරටත් ඉල්ලිය යුතු ය. දක්ෂ වූ, සමත් වූ භික්ෂුණියක් විසින් සංඝයාට මෙසේ දැන්විය යුතු ය.
2. “ආර්යාවෙනි, සංඝයා මාගේ වචනය අසත්වා. අසවල් නම් ඇති ආර්යාවගේ සික්ඛමානාව වූ අසවල් නම් ඇති මැය, ධර්ම හයෙහි අවුරුදු දෙකක් හික්මීම සඳහා ශික්ෂා සම්මුතිය සංඝයාගෙන් ඉල්ලයි. සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා අසවල් නම් ඇති සික්ඛමානාවට ධර්ම හයෙහි අවුරුදු දෙකක් හික්මීම සඳහා ශික්ෂා සම්මුතිය දෙන්නේ ය. මෙය ඤත්තිය (යෝජනාව) යි.