4. 6. 9.
නවවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ භික්ෂුණීහු පොහොය ගැනද නොවිමසති; අවවාදයද ඉල්ලා නොසිටිති. භික්ෂූහු “භික්ෂුණීහු කෙසේ නම් පොහොය ගැනත් නොවිමසූහු ද? අවවාදයත් ඉල්ලා නොසිටියාහු දැ” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂුණීහු පොහොය ගැනත් නොවිමසති, අවවාදයත් ඉල්ලා නොසිටිති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, භික්ෂුණීහු කෙසේ නම් පොහොය ගැනත් නොවිමසූහු ද? අවවාදයත් ඉල්ලා නොසිටියාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂු සංඝයාගෙන් කරුණු දෙකක් බලාපොරොත්තු විය යුතුය: පොහොය ගැන විමසීම ද අවවාදය සඳහා එළඹීම ද ය. එය ඉක්මවන භික්ෂුණියට පාචිත්තිය වේ” යි.
2. අන්වද්ධමාසං (අඩ මසක් පාසා) නම්: පොහොයක් පාසා.
උපෝසථ (පොහොය) නම්: තුදුස්වක (දාහතරවැනි දින) පොහොය හා පසළොස්වක (පහළොස්වැනි දින) පොහොය යන පොහොය දෙකකි.
ඕවාද (අවවාදය) නම්: ගරුධර්ම අට (අෂ්ට ගරුධර්ම) ය. “පොහොය ගැනත් නොවිමසන්නෙමි, අවවාදයත් ඉල්ලා නොසිටින්නෙමි” යි ඒ වගකීම අත්හළ මොහොතේම පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: අනතුරක් ඇති විට, සොයා බලා දෙවැනි භික්ෂුණියක් නොලැබේ නම්, ගිලන් වූ භික්ෂුණියට, අනතුරු ඇති අවස්ථාවල, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවන ශික්ෂාපදය යි.
4. 6. 10.
දසවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ එක්තරා භික්ෂුණියක් තම සිරුරේ යට කොටසේ හට ගත් ගෙඩියක්, පිරිමියෙකු සමඟ තනිවම සිට, ඔහු ලවා බිඳෙව්වා ය. එවිට ඒ පුරුෂයා ඒ භික්ෂුණිය දූෂණය කරන්නට උත්සාහ කළේ ය. ඇය කෑ ගැසුවා ය. භික්ෂුණීහු දුවගෙන අවුත් ඒ භික්ෂුණියට මෙසේ කීහ: “ආර්යාවෙනි, ඔබ කෑ ගැසුවේ කුමක් නිසා ද?” එවිට ඒ භික්ෂුණිය මේ කරුණ භික්ෂුණීන්ට දැන්වූවා ය.
අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂුණියක් සිරුරේ යට කොටසේ හට ගත් ගෙඩියක්, පිරිමියෙකු සමඟ තනිවම සිට, ඔහු ලවා බිඳෙව්වා ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, භික්ෂුණියක් සිරුරේ යට කොටසේ හට ගත් ගෙඩියක්, පිරිමියෙකු සමඟ තනිවම සිට, ඔහු ලවා බිඳෙව්වා යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් සිරුරේ යට කොටසේ හට ගත් ගෙඩියක්, පිරිමියෙකු සමඟ තනිවම සිට, ඔහු ලවා බිඳෙව්වා ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සිරුරේ යට කොටසේ (ගසක අතු මෙන් කලවා දෙක බෙදී යන, ඉණෙන් පහළ කොටස) හට ගත් ගෙඩියක් හෝ තුවාලයක් හෝ, සංඝයාගෙන් හෝ ගණයාගෙන් හෝ නොවිමසා, පිරිමියෙකු සමඟ තනිවම සිට, ඔහු ලවා බිඳෙව්වොත් හෝ පැළෙව්වොත් හෝ සේදෙව්වොත් හෝ බෙහෙත් ආලේප කෙරෙව්වොත් හෝ බැන්දෙව්වොත් හෝ ලිහෙව්වොත් හෝ පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
පසාඛ (සිරුරේ යට කොටස) නම්: පෙකණියෙන් පහළ, දණහිසට ඉහළ කොටස යි.
ජාතං (හට ගත්): එහි හට ගත්.
ගණ්ඩ (ගෙඩිය) නම්: යම්කිසි ගෙඩියකි.
රුහිත නම්: යම්කිසි තුවාලයකි.
අනපලෝකෙත්වා: නොවිමසා.
සඞ්ඝ නම්: භික්ෂුණී සංඝයා කියනු ලැබේ.
ගණ නම්: බොහෝ භික්ෂුණීහු කියනු ලැබෙති.
පුරිස (පුරුෂයා) නම්: මිනිස් පිරිමියෙකි. යක්ෂයෙක් නොවේ. ප්‍රේතයෙක් නොවේ. තිරිසනෙක් නොවේ. දැනුම ඇති, දූෂණය කරන්නට හැකියාව ඇත්තෙකි.
සද්ධිං: එක්ව.
එකෙනෙකා (තනිවම): එක් පිරිමියෙක් ද එක් භික්ෂුණියක් ද පමණක් සිටී.