4. 5. 10.
දසවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික (සය දෙනෙකුගේ කණ්ඩායමක් වූ) භික්ෂුණීහු තිරච්ඡාන විද්‍යා (අවැඩදායක බාහිර ශිල්ප) උගන්වති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීහු කෙසේ නම් තිරච්ඡාන විද්‍යා උගන්වන්නෝ ද?” යි.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්තිය) භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂුණීහු කෙසේ නම් තිරච්ඡාන විද්‍යා උගන්වන්නෝ ද?” යි. -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු තිරච්ඡාන විද්‍යා උගන්වති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු කෙසේ නම් තිරච්ඡාන විද්‍යා උගන්වන්නෝ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් තිරච්ඡාන විද්‍යා උගන්වයි නම් පාචිත්තිය වේ” යි.
3. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
තිරච්ඡාන විද්‍යා නම්: අවැඩ සහිත වූ, (සසුනෙන්) බාහිර වූ යම් කිසි විද්‍යාවකි.
උගන්වයි නම්: පදයෙන් පදය උගන්වයි නම් පදයක් පාසා පාචිත්තිය ඇවැත් වේ. අකුරෙන් අකුර උගන්වයි නම් අකුරක් පාසා පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: ලිවීම උගන්වයි නම්, (පාඩම්) මතකයේ දරා ගැනීම උගන්වයි නම්, ආරක්ෂාව පිණිස පිරිත් උගන්වයි නම් ඇවැත් නොවේ. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය යි.
පස්වන චිත්තාගාර (සිතුවම් ශාලා) වර්ගය යි.
එහි සාරාංශය:
රාජාගාරය, ආසන්දිය, සුත්තය (නූල් කැටීම), ගිහි (වැඩ), (අරගල) සංසිඳවීම, (ආහාර) දීම, සිවුර, ආවාසය, ඉගෙනීම, ඉගැන්වීම යන මේවා යි.