4. 4. 10.
දසවන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනය නම් වූ කලන්දක නිවාපයෙහි වැඩ වසන සේක. එකල භික්ෂුණීහු එම රජගහ නුවරම වස් වසති; හේමන්ත (සීත) කාලයත් එහිම ගත කරති, ග්‍රීෂ්ම (ගිම්හාන) කාලයත් එහිම ගත කරති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “භික්ෂුණීන්ට දිශාවන් පටුය (හිරය), අඳුරුය; මොවුන්ට දිශාවන් නොපෙනෙයි” යි.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ. එවිට ඒ භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිදී, මේ අවස්ථාවෙහිදී ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, කරුණු දහයක් නිසා භික්ෂුණීන්ට ශික්ෂාපදයක් පනවන්නෙමි: සංඝයාගේ යහපත පිණිස ය -පෙ- සද්ධර්මය බොහෝ කල් පැවැත්ම පිණිස ය, විනයට උපකාර වීම පිණිස ය. මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් වස් වැස නිම කළ පසු, අවම වශයෙන් යොදුන් පහක් හයක් දුරකටවත් චාරිකාවේ නොයයි නම් පාචිත්තිය වේ” යි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
වස්සං වුත්ථා (වස් වැස නිම කළ) නම්: පෙර තෙමස හෝ පසු තෙමස හෝ වස් වැස නිම කළ භික්ෂුණිය, “අවම වශයෙන් යොදුන් පහක් හයක් දුරකටවත් චාරිකාවේ නොයන්නෙමි” යි ඒ වගකීම බැහැර කළ විගසම පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: අනතුරක් ඇති විට, සොයා බැලුව ද දෙවන භික්ෂුණියක් නොලැබේ නම් ඇවැත් නැත. ගිලන් භික්ෂුණියට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය යි.
හතරවන තුවට්ට වර්ගය යි.
එහි උද්දානය (කෙටි සාරාංශය):
සෙය්‍ය, ඒකත්ථරණ, අඵාසුක, දුක්ඛිත, උපස්සය, සංසට්ඨ, අන්තෝරට්ඨ – තිරෝරට්ඨ යන දෙක, අන්තෝවස්ස, චාරිකා යන මේවා යි.