4. 3. 1.
පළමු ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල බොහෝ භික්ෂුණීහු අචිරවතී නදියෙහි වෙසඟනන් සමඟ නිරුවතින් එක ම තොටුපළක නාති. වෙසඟනෝ ඒ භික්ෂුණීන්ට සරදම් කළහ: “ආර්යාවෙනි, ඉතා තරුණ වූ ඔබට බඹසර හැසිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද? කාමයන් භුක්ති විඳිය යුතු නොවේ ද? ඔබ මහලු වූ කල්හි බඹසර හැසිරෙන්න. මෙසේ කළ හොත් ඔබට ප්‍රයෝජන දෙක ම ලැබී ඇත්තේ වන්නේ ය” කියා. වෙසඟනන් විසින් සරදම් කරනු ලැබූ භික්ෂුණීහු ලජ්ජාවට පත් වූහ. එවිට ඒ භික්ෂුණීහු භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූහ. භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, කරුණු දහයක් සලකා භික්ෂුණීන්ට ශික්ෂාපදයක් පනවන්නෙමි. සංඝයාගේ යහපත පිණිස ය -පෙ- විනයට අනුග්‍රහ පිණිස ය. මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් නිරුවතින් නාන්නී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
නග්ගා නහායෙය්ය (නිරුවතින් නාන්නී නම්): නොහැඳ හෝ නොපොරවා හෝ නාන්නී නම්, ඒ සඳහා උත්සාහ කරන විට දුක්කට ඇවැත් වේ. නෑම අවසන් වූ කල්හි පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: සිවුරු පැහැර ගනු ලැබූ භික්ෂුණියට ද, සිවුරු නැති වූ භික්ෂුණියට ද, ආපදාවක දී ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමු ශික්ෂාපදය යි.
4. 3. 2.
දෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන්ට දිය සළුව (නාන විට හඳින රෙද්ද) අනුමත කර තිබුණි. ෂඩ්වර්ගික භික්ෂුණීහු (හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ භික්ෂුණීහු) භාග්‍යවතුන් වහන්සේ දිය සළුව අනුමත කර ඇතැයි සිතා, ප්‍රමාණය ඉක්මවූ දිය සළු දරති; ඉදිරියෙනුත් පසුපසිනුත් ඒවා බිම අදිමින් ඇවිදිති.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීහු ප්‍රමාණය ඉක්මවූ දිය සළු දරන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීහු ප්‍රමාණය ඉක්මවූ දිය සළු දරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීහු ප්‍රමාණය ඉක්මවූ දිය සළු දරන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“දිය සළුවක් කරවන භික්ෂුණිය විසින් එය නියමිත ප්‍රමාණයට කරවිය යුතු ය. එහි ප්‍රමාණය මෙය යි: සුගත වියතින් (බුදුරජාණන් වහන්සේගේ වියතින්) දිගින් වියත් හතරකි; පළලින් වියත් දෙකකි. ඒ ප්‍රමාණය ඉක්මවන භික්ෂුණියට, වැඩි කොටස කපා ඉවත් කළ පසු දේශනා කළ යුතු පාචිත්තිය ඇවැත් වේ” යි.
3. උදකසාටිකා (දිය සළුව) නම්: යමක් හැඳගෙන නාන්නී ද, ඒ රෙද්ද යි.
කාරයමානාය (කරවන): තමා කරන හෝ අනුන් ලවා කරවන හෝ භික්ෂුණිය විසින් එය නියමිත ප්‍රමාණයට කරවිය යුතු ය. එහි ප්‍රමාණය මෙය යි: සුගත වියතින් දිගින් වියත් හතරකි; පළලින් වියත් දෙකකි. ඒ ප්‍රමාණය ඉක්මවා කරයි නම් හෝ කරවයි නම් හෝ, ඒ සඳහා උත්සාහ කරන විට දුක්කට ඇවැත් වේ. එය ලැබුණු පසු වැඩි කොටස කපා පාචිත්තිය ඇවැත දේශනා කළ යුතු ය.
තමා පටන් ගෙන නිම නොකළ දිය සළුව තමා ම නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. තමා පටන් ගෙන නිම නොකළ දිය සළුව අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් පටන් ගෙන නිම නොකළ දිය සළුව තමා නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් පටන් ගෙන නිම නොකළ දිය සළුව අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අන් අයෙකු සඳහා කරයි නම් හෝ කරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. අන් අයෙකු කළ එකක් ලැබ පරිහරණය කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නියමිත ප්‍රමාණයට කරයි නම්, ප්‍රමාණයට අඩුවෙන් කරයි නම්, අන් අයෙකු කළ ප්‍රමාණය ඉක්මවූ එකක් ලැබ වැඩි කොටස කපා දමා පරිහරණය කරයි නම්, වියනක් හෝ බිම එළන ඇතිරිල්ලක් හෝ තිරයක් (කඩතුරාවක්) හෝ මෙට්ටයක් හෝ කොට්ටයක් හෝ කරයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය යි.