4. 2. 10.
දසවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල චණ්ඩකාළී භික්ෂුණිය භික්ෂුණීන් සමඟ කලහ කොට තමාට ම පහර දී දී අඬයි. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ආර්යා චණ්ඩකාළී කෙසේ නම් තමාට ම පහර දී දී අඬන්නී ද?” කියා. -පෙ- “මහණෙනි, චණ්ඩකාළී භික්ෂුණිය තමාට ම පහර දී දී අඬන්නී ය යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, චණ්ඩකාළී භික්ෂුණිය කෙසේ නම් තමාට ම පහර දී දී අඬන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් තමාට ම පහර දී දී අඬන්නී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අත්තානං: තමාට ම.
පහර දී අඬන්නී නම් පාචිත්තිය ඇවැත් වේ. පහර දී නොඅඬන්නී නම් දුක්කට ඇවැත් වේ. අඬා පහර නොදෙන්නී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නෑයන්ට වූ විපතකින් හෝ වස්තුවට වූ විපතකින් හෝ රෝගයෙන් වූ විපතකින් හෝ පීඩා විඳිමින් අඬා පහර නොදෙන්නියට ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය යි.
දෙවන අන්ධකාර වර්ගය යි.
එහි උද්දානය (කරුණු සිහි කිරීමේ ගාථාව):
රාත්‍රී අඳුර (රත්තන්ධකාර), වසා ඇති තැන (පටිච්ඡන්න), එළිමහන (අජ්ඣොකාස), හන්දිය (සිඞ්ඝාටක), නොවිමසීම පිළිබඳ ශික්ෂාපද දෙක (අනාපුච්ඡා), නොකල්හි යාම (විකාල), වැරදි ලෙස ගැනීම (දුග්ගහිත), නිරයෙන් ශාප කිරීම (නිරය), පහර දීම (වධ) යි.
3. නග්න වර්ගය
4. 3. 1.
පළමු ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල බොහෝ භික්ෂුණීහු අචිරවතී නදියෙහි වෙසඟනන් සමඟ නිරුවතින් එක ම තොටුපළක නාති. වෙසඟනෝ ඒ භික්ෂුණීන්ට සරදම් කළහ: “ආර්යාවෙනි, ඉතා තරුණ වූ ඔබට බඹසර හැසිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද? කාමයන් භුක්ති විඳිය යුතු නොවේ ද? ඔබ මහලු වූ කල්හි බඹසර හැසිරෙන්න. මෙසේ කළ හොත් ඔබට ප්‍රයෝජන දෙක ම ලැබී ඇත්තේ වන්නේ ය” කියා. වෙසඟනන් විසින් සරදම් කරනු ලැබූ භික්ෂුණීහු ලජ්ජාවට පත් වූහ. එවිට ඒ භික්ෂුණීහු භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූහ. භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, කරුණු දහයක් සලකා භික්ෂුණීන්ට ශික්ෂාපදයක් පනවන්නෙමි. සංඝයාගේ යහපත පිණිස ය -පෙ- විනයට අනුග්‍රහ පිණිස ය. මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් නිරුවතින් නාන්නී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
2. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
නග්ගා නහායෙය්‍ය (නිරුවතින් නාන්නී නම්): නොහැඳ හෝ නොපොරවා හෝ නාන්නී නම්, ඒ සඳහා උත්සාහ කරන විට දුක්කට ඇවැත් වේ. නෑම අවසන් වූ කල්හි පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: සිවුරු පැහැර ගනු ලැබූ භික්ෂුණියට ද, සිවුරු නැති වූ භික්ෂුණියට ද, ආපදාවක දී ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමු ශික්ෂාපදය යි.
4. 3. 2.
දෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන්ට දිය සළුව (නාන විට හඳින රෙද්ද) අනුමත කර තිබුණි. ෂඩ්වර්ගික භික්ෂුණීහු (හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ භික්ෂුණීහු) භාග්‍යවතුන් වහන්සේ දිය සළුව අනුමත කර ඇතැයි සිතා, ප්‍රමාණය ඉක්මවූ දිය සළු දරති; ඉදිරියෙනුත් පසුපසිනුත් ඒවා බිම අදිමින් ඇවිදිති.